පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍යයි-පොහොට්ටුවෙන් නිවේදනයක්

පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍යයි-පොහොට්ටුවෙන් නිවේදනයක්

February 14, 2018   03:59 pm



පළාත් පාලන ඡන්දයේදී පොදුජන පෙරමුණ විශිෂ්ඨ ලෙස ජය ගැනීමෙන් පසුව මුස්ලිම් පුද්ගලයන් කිහිප දෙනෙකුට අප පක්‍ෂයේ ක්‍රියාකාරීන්  හිරිහැර කළ බවට චෝදනා කරමින් පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පෙන්වා දී තිබේ.

එම නිවේදනය,

2018 පෙබරවාරි 14
මාධ්‍ය නිවේදනය 

මුස්ලිම් ජනතාව මුලාකිරීමට තවත් උත්සාහයක් 

පළාත් පාලන ඡන්දයේදී පොදුජන පෙරමුණ විශිෂ්ඨ ලෙස ජය ගැනීමෙන් පැය 24 ක් ඇතුළත, බොදු බල සේනාව පොදුජන පෙරමුණට පක්‍ෂව ෆේස්බුක් මාධ්‍යය ව්‍යාපාරයක් ගෙනගිය බවට රාවයක් සමාජ ජාලා වල සංසරණය වීමට පටන් ගත්තේය. ඉන්පසු මුස්ලිම් කවුන්සිලයේ එන්.එම්.අමීන් මහතා මහනුවර - උගුරැස්සපිටියේ හා අගලවත්තේ - වේයන්ගල්ල ප්‍රදේශයේ පොදුජන පෙරමුණට සහයෝගය නොදැක්වූවා යැයි කියා මුස්ලිම් පුද්ගලයන් කිහිප දෙනෙකුට අප පක්‍ෂයේ ක්‍රියාකාරීන්  හිරිහැර කළ බවට චෝදනා කරමින් ලියූ ලිපියක් මාධ්‍යයේ පළ විය. එවැනි හිරිහැර කිරීම් සිදුව ඇත්නම් එය පොලීසියට වාර්තා කොට අවශ්‍ය පියවර ගත යුතුය.

පසුගිය ජනාධිපතිවරණයට පෙර, මුස්ලිම් ප්‍රජාව අපට එරෙහි කරවීමට යොදා ගන්නා ලද විවිධ උපක්‍රම ගැන මහජනතාව හොදින් දනී. ජාතික හෙල උරුමයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන අශෝක අබේගුණවර්ධන 2015 ජනවාරී 8 වනදා ආණ්ඩු වෙනස පිළිබඳව “යුග පෙරළිය” නමින් පොතක් ලියා ඉන් පළමු පිටපත 2015 මාර්තු 23 වනදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබූ අතර, පසුගිය ජනාධිපතිවරණයට පෙර මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තට යැවීමටයොදන ලද උපක්‍රම එහි විස්තර කොට ඇත. මේ කුමන්ත්‍රණය පසුපස සිටි ප්‍රධාන චරිත මේ පිළිබඳව දුරකථනයෙන් සාකච්ඡා කරන හඞ පටද පසු කලක සමාජ ජාලා ඔස්සේ සංසරණය විය. මේ කුමන්ත්‍රණයටසුදුසු පරිදි මුහුණදීමේදී අපේ ආණ්ඩුවේ දුර්වලතා තිබුණු බව අපි පිළිගනිමු.  

2017 දී යහපාලන ආණ්ඩුව ජනතාව අතර ජනප්‍රියත්වයෙන් පිරිහෙද්දී නැවත වතාවක් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන හා නිවාස වලට ප්‍රහාර එල්ල විය. මේ සිද්දීන් වලට මුල් වූ බවට සැකයට පාත්‍රවී සිටි භික්‍ෂුවකට එක් දිනක් ඇතුළත තුන්වතාවක් ඇප දී සියල්ල යට ගසන ලදී. යහපාලන ආණ්ඩුව මහියංගන ප්‍රදේශීය සභාවේ සාප්පු සංකීර්ණයක කඩ කාමර කුළියට දීමේදී ඇතිවූවා යැයි කියන අක්‍රමිකතා ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කර තිබුණද ඊට වඩා බෙහෙවින්ම වැදගත් වූ අලුත්ගම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට කොමිසමක් පත් නොකලේ, එයට වගකිවයුතු සියලු දෙනාම අද සිටින්නේ යහපාලන ආණ්ඩුවේ නිසාය. 

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලින් පෙනී යන කාරණයක් වන්නේ මුස්ලිම් ප්‍රජාව අද වනවිට ඔවුන්ව මුලා කරනු ලැබූ ආකාරය ගැන අවබෝධයෙන් සිටින බවයි. එම නිසා පැරණි කුමන්ත්‍රණ නැවතත් ක්‍රියාත්මක වෙමින් පැවතීම ගැන අපි පුදුම නොවෙමු. ආණ්ඩුව විසින් වහාම අලුත්ගම සිද්ධිය ගැනත්, එයට පෙර වූ සිදුවීම් ගැනත්, 2017 ඇති වූ විවිධ සිද්ධීන් ගැනත්, ගිංතොට කලබලය ගැනත් සොයා බැලීමට විමර්ශන කොමිසමක් පත්කල යුතුය. ඒ අතරතුර, මෙවන් සිද්ධීන් වලට එරෙහිව මින් ඉදිරියට නීතියේ සම්පූර්ණ බලය යෙදවිය යුතුය. 

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයින්ගේ කමිටුව වෙනුවෙන්,

මහාචාර්ය ජී. එල්. පීරිස්
සභාපති
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ