මානව හිමිකම් කවුන්සිලය රජයට කියපු කිසිම දෙයක් මේ වෙනකල් කරලා නෑ-විග්නේශ්වරන් අමෙරිකානු තානාපතිට කියයි

මානව හිමිකම් කවුන්සිලය රජයට කියපු කිසිම දෙයක් මේ වෙනකල් කරලා නෑ-විග්නේශ්වරන් අමෙරිකානු තානාපතිට කියයි

January 16, 2018   10:23 pm




ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකා රජයට ඉටු කරන මෙන් දැනුම් දී ඇති කරුණු කාරණාවලින් කිසිඳු කරුණක් මේ වනතුරු ඉටු වී නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතාට දැනුම් දී තිබේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා අමෙරිකානු තානාපතිවරයා අතර හමුවක් 15 දා කොළඹ දී සිදු වූ අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කොට ඇති අතර විශේෂ ලිපියක් ද මේ අවස්ථාවේදී විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා විසින් තානාපතිවරයාට බාරදී තිබේ.

විග්නේශ්වරන් මහතා මෙහිදී අවධාරණය කොට ඇත්තේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ශ්‍රී ලංකා රජයට ඉටු කිරීමට නිර්දේශ කරණ ලද කරුණු යළිත් වරක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකා රජයට යළි මතක් කොට දිය යුතු බවයි.

මේ නිසා ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වෙනි සැසිවාරයේදී අනිවාර්යෙන්ම මේ කරුණු ඉටු කරණ මෙන් ශ්‍රී ලංකා රජයට බල කළ යුතු බව පවසා ඇති ප්‍රධාන අමාත්‍යවරයා යම් රජයක් විසින් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් නිර්දේශ කරණු ලබන දේ ඉටු නොකළහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගයන් ඉතා පැහැදිලි විය යුතු බවද පෙන්වා දී තිබේ.

රජය නව ව්‍යවස්ථා සංශෝධනයකට යන බවත් ඉන් උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් රැසක් ලැබෙන බවත් පසුගිය සැසිවාරයේදී ප්‍රකාශ කළත් මේ වන තුරු නව ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව අපේක්ෂාවන් දල්වා ගැනීමට හැකියාවක් නොමැති බවද ප්‍රධාන අමාත්‍යවරයා අමෙරිකානු තානාපතිවරයාට පෙන්වා දී තිබේ.