තහනම් දැල් උකුස්සු ඇසට

තහනම් දැල් උකුස්සු ඇසට

January 15, 2018   04:56 pm

නීති විරෝධී අයුරින් මෙරටට ආනයනය කර විකිණීමට සූදානම් කර තිබූ මසුන් ඇල්ලීම සඳහා භාවිතා කරන තහනම් දැල් ආම්පන්න තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි වුණා.

මෙරට තුළ එක් අවස්ථාවකදී නීතියේ රැහැනට හසුකරගත් වැඩිම නීති විරෝධී දැල් ආම්පන්න තොගයද මෙය වීම විශේෂත්වයක්.

මෙරට තුළ භාවිතයට තහනම් කර ඇති මසුන් ඇල්ලීමට භාවිතා කරන මොනෝ පිලමන්ට් හෙවත් තංගුස් දැල් අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ අලෙවිකිරීමට තිබෙන බවට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා ද ඔවුන් සමඟ එක්ව මෙහෙයුමක් දියත් කළේය.

ඒ අනුව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කණ්ඩාමක් එම ප්‍රදේශයට ළගා වන්නේ ජලජීවී සම්පත් කළමනාකරණ අධිකාරියේ නිලධාරීන් සහ උකුස්සාද කැටුවයි.

කැකිරාව ප්‍රදේශයට ළඟා වූ උකුස්සා එහිදී පළමුව තංගුස් දැල් අලෙවි කරන ස්ථානයක් වටලනු ලැබුවා.

එම ස්ථානයේ හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම දැල් ගබඩා කර තිබූ ඔහුගේ නිවස වැටලූ අතර එහි තිබී විශාල දැල් ප්‍රමාණයක් සොයා ගනු ලැබුවා.

ඉන් අනතුරුව  කැකිරාව ප්‍රදේශයේම පිහිටි තවත් මෙම තහනම් දැල් අලෙවි කරනු ලබන ස්ථානයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ විසින් වැටලූ අතර එහි තිබීද තවත් දැල්තොගයක් සොයා ගනු ලැබිය.

අනතුරුව ජාවාරම්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ වුණා

මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුවනම් මෙපමණ දැල්තොගයක් මෙරටට රැගෙන ආවේ කෙසේද යන්න පිළිබඳව සහ මෙරටට මෙම දැල් රැගෙන ආවේ කවුරුන්ද යන්නයි.

එම රහස් අනාවරණය කරගන්නා තෙක් අද දෙරණ උකුස්සා සීරුවෙන්.