ලක්ෂ 60ක් වටින අති භයානක මත් ද්‍රව්‍ය තොගයක් කටුනායකින් අල්ලයි

ලක්ෂ 60ක් වටින අති භයානක මත් ද්‍රව්‍ය තොගයක් කටුනායකින් අල්ලයි

January 12, 2018   09:59 am

යුරෝපා රටවල භාවිතා කරන " මෙතැම්පටමයින් " නැමති අති භයානක මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුඩා වෙළඳ සැලක් පවත්වාගෙන යන 50 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ඊයේ (11) දින රාත්‍රී 9.45 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම මෙතැම්පටමයින් ග්‍රෑම් 220 ක ප්‍රමාණයක් සගවා ගෙන තිබූ අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

මෙම මෙතැම්පටමයින් කුඩා කැබලි (Crystal Type)ලෙස තිබූ ඒවා බවත් , ඒවා කොළඹ ඇතුළු නගරවල ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලා වල භාවිතය පිණිස රැගෙන එන්නට ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සැක පහළ කරයි.

අද(12) දින මෙම ඉන්දීය ජාතිකයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රැදවුම් නියෝග ලබා ගෙන, මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටිති.