ශ්‍රී පාදය කරුණා කරන්න ගිය අය ප්ලාස්ටික් වතුර බෝතල් 35000 ක් ගෙනල්ලා දාලා

ශ්‍රී පාදය කරුණා කරන්න ගිය අය ප්ලාස්ටික් වතුර බෝතල් 35000 ක් ගෙනල්ලා දාලා

January 12, 2018   09:53 am



2017-2018 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වි මාසයක කාලයක් තුල හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනා කරුවන් සහ නල්ලතන්නියේ අවන්හල් වලින් හිස් ප්ලාස්ටික් වතුර බෝතල් තිස්පන්දහසක් පරිසරයට මුදාහැර ඇති බව අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්යාලයේ ස්ථානාධිපති ඒ.ඩබිලිවි හේමන්ත මහතා පැවසීය.

මෙවර වන්දනා වාරය තුල පොලිතින් භාවිතය 20% කින් පමණ පහළ බැස ඇති බවයි හේමන්ත මහතා පවසන්නේ. ශ්‍රී පාද වන්දනාකරුවන් සහ නල්ලතන්නිය අවන්හල් වලින් මුදාහැර තිබු හිස් වතුර බෝතල් මේ වන විට තමන සේවකයින් විසින් එක්රැස් කර තම උප කාර්යාලයේ ගබඩාවේ ගබඩාකර ඇති බවද හේමන්ත මහතා පවසයි.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ විමත් සමගම වතුර බෝතල් නිෂ්පාදිත සමාගම් විසින් ඔහුන්ගේ අලෙවිය වැඩි කර ගැනිම සදහා කුඩා ප්ලාස්ටික් බෝතල් වශයෙන් වර්ග කිහිපයක් වෙළදපොළට නිකුත් කරන බවත් එම වතුර බෝතල් පහසුවෙන්ම වන්දනාකරුවන් සහ නල්ලතන්නියට පැමිණෙන විදේශ සංචාරකයන් මිළදි ගන්නා බවයි හේමන්ත මහතා පෙන්වා දෙයි.

වතුර බෝතල් භාවිතය අවම කිරිම සදහා නල්ලතන්නියේ පිහිටි අවන්හල් සහ සිල්ලර කඩ වෙත වතුර ලීටර් පහ සහිත ප්ලාස්ටික් බෝතල් පමණක් නිකුත් කරන්නේ නම් පරිසරයට මුදාහරින ප්ලාස්ටික් වතුර බෝතල් ප‍්‍රමාණය අවම කර ගත හැකි බවද ස්ථාන භාර නිළධාරිවරයා පෙන්වා දෙන අතර එම වතුර ලීටර් පහ සහිත ප්ලාස්ටික් හිස් බෝතල් නැවත ප‍්‍රයෝජනයට ගත හැකි බවද ඔහු පවසයි.

මෙය නීතියක් වශයෙන් කි‍්‍රයාත්මක කිරිමට අවශ්‍ය පියවර ගත යුතු බවත් ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමේදි ශ්‍රී පාදස්ථානය පරිසර පද්ධතිය රැක ගෙන ශ්‍රී පාදය කරුණා කිරිමට අදිටන් කරගෙන පැමිණෙන ලෙස වන්දනා කරුවන්ගෙන් අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උපකාර්යාලයේ ස්ථානාධීතිවරයා වැඩි දුරටත් ඉල්ලා සිටියි.