දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරන්න අකිල සැරසෙයි

දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරන්න අකිල සැරසෙයි

December 10, 2017   01:44 pm




වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

අද (10) දිනයේ මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

අනිද්දා දිනයේ සිට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කටයුතු සඳහා දුම්රිය වර්ජනය පැවතියහොත් ගැටළු මතුවිය හැකි බැවින් ඒ පිළිබඳව දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කර තිබේ.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අපහසුවක් නොවන අයුරින් දුම්රිය වර්ජනය නතර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

මේ අතර පසුගිය 06 වැනිදා සිට ආරම්භ කළ දුම්රිය වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලැබෙන තුරු ආරම්භ කර ඇති වැඩ වර්ජනය අත්නොහරින බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිතියක් සිය ඉල්ලීම් ලබාදීමට විරෝධය පල කිරීම මෙම ගැටළුවට මුලික හේතුව වී ඇති බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.

දුම්රිය වෘත්තීය සමිති එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.