ගජමුතු හා ඇත්දළ ජාවාරමක් පොල්පිතිගමින් හසුවෙයි

ගජමුතු හා ඇත්දළ ජාවාරමක් පොල්පිතිගමින් හසුවෙයි

November 27, 2017   09:44 am

කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේදී නීති විරෝධී අයුරින් ගජමුතු සහ ඇත්දළ අලෙවි කිරීමට සූදානම්ව පවතින බවට ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා සමඟින් එක්ව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් රහසිගත මෙහෙයුමක් ආරම්භ කළේය.

ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමල් ප්‍රශාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් පිටත්ව යන්නේ උකුස්සා ද සමඟින්ය.

එහි පළමු පියවර ලෙස ජාවාරම්කරුන් රැඳී සිටි පොල්පිතිගම ප්‍රදේශයට උපාය දූතයෙකු ලෙස උකුස්සා රහසේ ළඟා විය.

අනතුරුව ජාවාරම්කරුවන් පැවසූ ආකාරයෙන් අලෙවි කිරීමට සූදානම්කර තිබූ ඇත්දළ සහ ගජමුතු රැගෙන මෝටර් රථයක් පැමිණි අතර එහිදී මෙහි ප්‍රධාන ජාවාරම්කරු විසින් උකුස්සාව කැලෑබද ප්‍රදේශයකට රැගෙන යනු ලැබීය.

එහිදී අදාළ ගනුදෙණුව පිළිබඳව ජාවාරම්කරු විසින් උකුස්සාට කරුණු පැහැදිලි කර සිටියේය.

අනතුරුව ඊට සම්බන්ධ තවත් ජාවාරම්කරුවෙකු ගණුදෙනුව සම්බන්ධයෙන් උකුස්සා සමඟ අදහස් හුවමාරු කරගනු ලැබීය.

අනතුරුව මෙම අතරමැදිකරු පැවසු පරිදි උකුස්සා ජාවාරම සිදුකිරීමට සුදානම් කර තිබු ප්‍රදේශයේ විහාරස්ථානයක භුමියක් වෙත ළඟා වූ අතර පසුව එම ස්ථානයට ජාවාරම්කරු විසින් ඇත්ඳළ සහ ගජමුතු රැගෙන මෝටර් රථයෙන් පැමිණියේය.

මෙහිදී ජාවාරම සිදුකිරීමට සැරසෙනවාත් සමඟම ක්‍රියාත්මක වූ වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ජාවාරම්කරුවන් පොල්පිතිගම පොලිසියට බාරදුන් අතර මෙහිදී පොලිස් භාරයට ගත් ඇත් දළ දෙක අඩි හතරහමාරකට වඩා දිගින් යුක්ත වන අතර  වැඩිදුරටත් සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වුණේ ජාවාරම්කරු පැමිණි මෝටර් රථය ද ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති බවයි.

ඉදිරියේදීත් මෙවැනි ජාවාරම් පිළිබඳව රටහමුවේ අනාවරණය කිරීමට උකුස්සා අවධානයෙන්.