කොළඹ කූණු බිංදුවට අඩු වෙලා -කුණුවලින් සල්ලි හොයපු මාෆියාව ඉවරයි

කොළඹ කූණු බිංදුවට අඩු වෙලා -කුණුවලින් සල්ලි හොයපු මාෆියාව ඉවරයි

November 22, 2017   09:48 pm


 
වරාය නගරය ඉදිකරනු ලබන්නේ සියලු පරිසර ඇගයීම් වලට යටත්ව බවත්, රටේ කුණු ප‍්‍රශ්නයට අරුවක්කාලූ විසඳුම කඩිනමින් ලබාදෙන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ  කොළඹ නගර සභාවේ පැවැති නාගරික කසළ කළමනාකරණය සහ නාගරික අලංකරණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘කොළඹ නගරයේ කැළි කසළ පැත්තෙන් විතරක් නෙමෙයි, ඩෙංගු රෝගය පැත්තෙන්, ඒ වගේම ජල තලය පිරිසිදුව තබාගැනීම පැත්තෙන්, වායු දූෂණය පාලනය කිරීම පැත්තෙන් අද දකුණු ආසියාවේ වැදගත් තැනකට පැමිණ තිබෙනවා. සාවද්‍ය ප‍්‍රවෘත්තිවලට මුල්තැන දෙන නිසා මේකටත් මුල්තැන දෙන්න කියලා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. වායු දූෂණය, ජල දූෂණය නිසා දිල්ලිය, ඉස්ලාමාබාද් යන නගර මේ වන විට අක‍්‍රිය වෙලා. නමුත් කොළඹ නගරය අපිට පුළුවන් වෙලා තිබෙනවා 2007 - 2008 ට සාපේක්‍ෂව අපි වායු දූෂණය පාලනය කිරීම පැත්තෙන්, අපට තිබුණු ලොකුම ගැටළුව කසල කළමනාකරණය පැත්තෙන්, එය අපි තාවකාලික ආකාරයට පාලනය කිරීමට හැකි වී තිබෙනවා. ඒ සඳහා දායක වූ හමුදාවේ අලංකරණ අංශය, පරිසර පොලීසිය නීතිය පැත්තෙන්, කසළ එකතු කිරීම පැත්තෙන් නගර සභාවල ඒ වගේම පෞද්ගලික අංශයේ සහයෝගය ලැබුණා. පෞද්ගලික අංශයේ පවා සේවක පැමිණීම ආදියේ හොඳ වර්ධනයක් අපට ලඟා කර ගන්න හැකි වුණා. ඒ වගේම නාවික හමුදාව ඉඩම් සංවර්ධන සංස්ථාව අපට සහයෝගය ලබාදුන්නා ජල ප‍්‍රදේශ පාලනය කරන්න වගේම කෙරවලපිටිය කසළ අංගනය පාලනය කරන්න. රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ සියළුම ආයතන අපට ඒ සඳහා ලොකු සහායෝගයක් ලබාදුන්නා. නමුත් ජනතාවගේ පැත්තෙන් අඛණ්ඩව කසළ කළමණාකරණය පිළිබඳව කටයුතු සිදු කෙරෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. 

විශේෂයෙන්ම පළාත් පාලන ආයතනවලට දේශපාලන අධිකාරියක් නොමැති අවස්ථාවේ නිලධාරීන් විසින් මේ ප‍්‍රශ්න විසඳීමට කටයුතු කිරීම රටේ විශාල ජයග‍්‍රහණයක්. දේශපාලන අධිකාරියක් නොමැතිව උනත් රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රයට නායකත්වය දී මේ කටයුත්ත කරන්න පුළුවන් කියන එක මෙයින් ඔප්පු උනා. මේ සම්බන්ධයෙන් ඒ අය හැම අතින්ම දායක උනා. කොළඹ නගරය කසළවලින් තොර නගරයක් බවට පරිවර්ථනය කර ගන්නට ලබපු දායකත්වය හේතුවෙන්. ඒ වගේම අපි ඉදිරි කාලයේදී විශේෂයෙන්ම ඊළඟ අවුරුදු දෙක ඇතුළේ දුගී පැල්පත්වාසීන්, ඒ වගේම බේරේ වැව අවට ප‍්‍රදේශවල විධිමත් සංවර්ධනයක් කරන්න බලාපොරෙත්තු වෙනවා. පිරිසිදු ජල පද්ධතියක් පවත්වාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පරිසර පද්ධති දියුණු කිරීම සඳහා අපි වැඩකටයුතු කරනවා. විශේෂයෙන්ම දැනට තිබෙන වැදගත් පරිසර පද්ධති, පහත්බිම් වගේම මඩ ගොහොරු හැටියට පවතින ප‍්‍රදේශ විධිමත්ව ඒවා පවත්වාගෙන යමින් මේ පරිසරයේ තිබෙන අතිරේක උණුසුම උරා ගන්න ඒ වගේම පරිසර පද්ධති කි‍්‍රයාශීලි කරන්න නාගරික සංවර්ධන අධිකාරියත්, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවත් ඉදිරියේ කි‍්‍රියා කරන බව කියන්න  ඕනේ. අද කොළඹ දකුණු ආසියාවේ වර්ග කිලෝමීටරයකට වැඩිම දොඹකර ගණනක් කි‍්‍රයාත්මක වන නගරය. අති විශාල සංවර්ධනයක් සීඝ‍්‍රම කි‍්‍රයාවලිය සිදුවෙමින් පවතිනවා. පසුගිය වසරේ ආර්ථිකයට ලබලා තිබෙන ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ දායකත්වය 13% ක්. රටේ ආර්ථිකය 4% කින් වගේ වර්ධනය වෙද්දී ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය ඒ වගේ තුන්ගුණයක වර්ධනයක් ලබාගෙන තිබෙනවා. ඒ සඳහා මම විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට ස්තූතිවන්ත වෙනවා ඒ ඉදිරි පිම්ම රටට ලබාදීම ගැන. එහෙම තත්වයක් තිබියදීත් මේ පරිසර දූෂණය පාලනය කිරීම විශේෂත්වයක්. 

ඒ වගේම වරාය නගරය ගැන නොයෙක් දෙනා නොයෙක් මාධ්‍ය මගින් තවමත් නොයෙක් අදහස් පළ කළත්, පරිසර ඇගයීම් වාර්තාවලට අනුකූලව ඒ කටයුත්ත කිරීම ගැන අපි එම සියළු දෙනාට ස්තීතුවන්ත විය යුතුයි. අපි පසුගියදා විදුලි බලාගාර  කිහිපයකට ඉඩකඩ ලබාදුන්නා කසළ වලින් විදුලි නිපදවන්න. ඒවයේ ප‍්‍රගතිය අපි මේ දෙසැම්බර් මාසයේ සමාලෝචනය කර, ප‍්‍රගතියක් පෙන්වා නොමැති අය ඉවත් කර රජයේ වගකීමක් හැටියට එය කිරීම සූදානම්. ඒ වගේම පුත්තලමේ අරුවක්කාලූවේ ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා ජාතික වශයෙන් වැදගත් මහාපරිමාණ කසළ රඳවනයක්. ඒ සම්බන්ධයෙන් වූ පරිසර ඇගයීම් වාර්තාව අපවෙත ලැබෙනවා මේ සතියේ. අනතුරුව අපි අදාල කොන්ත‍්‍රාත් කරුවන්ට මේ මස අගවන විට කොන්ත‍්‍රාත් ප‍්‍රදානය කිරීමේ හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව සියළුම ජන කොටස් කොළඹ කුණු අපට එපා කියන සටන් පාඨවලට එල්ලෙන්නේ නැතිව, පළාතේ ඡන්ද ටික මට ලබාගන්න කුණුවලට විරුද්ධවන එක තමයි ලොකුම කාරිය කියල හිතන්නේ නැතිව, සියළුම පළාත් සභා පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත් වන අය මේ ප‍්‍රශ්නය ඊළඟ පරපුරට ලබා නොදී අපි විසඳමු කියන ආකල්පයෙන් කටයුතු කළොත් අපට මේ ප‍්‍රශ්නය 2019 ට යන්න නොදී සදහටම විසඳාගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි අවස්ථා කිහිපයක් අතහැරියා. 1997 ලෝක බැංකු ව්‍යාපෘතිය විරෝධතා නිසා අතෑරියා. 2008 කොරියානු ව්‍යාපෘතිය විරෝධතා හා කෙලින්ම දේශපාලන මැදිහත්වීම නිසා නැති උනා. මෙය එසේ නොකර අපි ගියොත් මේ සියවස දක්වා මේ කසළ ගැටළුව අපට ස්ථිරසාරව විසඳා ගැනීමේ හැකියාව, දැනට යෝජිත ව්‍යාපෘතිවලින් ලැබිලා තිබෙනවා. 

මීතොටමුල්ල තිබෙන කසළ කන්දත්, බ්ලූමැන්ඩොල් කසළ කන්දත් දෙකම අපි නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඊළඟ අවුරුදු දෙකේ දී නාගරික උද්‍යාන බවට පත් කරනවා. ඒ වගේම මින් ඉදිරියට කිසිම තැනක අවිධිමත් විදිහට කසළ කඳු ගොඩගැහෙන්න මේ කලාපයේ අප ඉඩ තබන්නේ නැහැ. කරදියානත් අපි අනුක‍්‍රමයෙන් පළාත් සභාව සමග එකතු වී මේ ලබාගන්නා අත්දැකීමත් සමග විධිමත් ස්ථානයක් බවට පරිවර්ථනය කරන්න කටයුතු කරනවා. ඒ නිසා මහජනතාවගෙත් විශාල වගකීමක් තිබෙනවා මේ සම්බන්ධයෙන් තමන්ගේ ගෙදර වගකීම, ආයතනයේ වගකීම ඉටු කරන්න කි‍්‍රයා කිරීම. නැතිව ආණ්ඩුවට, පළාත් පාලන ආයතනවලට බණින්න විතරක් නෙමෙයි තමන්ගේ වගකීම ඉටු කරන්නත් කටයුතු කළ යුතුයි. 

කුණු ගොඩගැසුණාම, කොළඹ කුණුවෙලා, ගඳ ගහනවා, මදුරුවෝ කියා වර්තා ඉදිරිපත් කරනවා වගේම කොළඹ කසළ අද බිංදුවට බැස්සවීම ගැන ඒ අදාල නිලධාරීන්ට හා අදාල ක්‍ෂෙත‍්‍රවල කැපවීම් කරපු සියළු දෙනාමටම අවශ්‍ය කරන ඒ ප‍්‍රචාරය ලබාදෙන්න කියලා. අපි මේ වසර අගදී මේ සඳහා දායක වූ පහළම කම්කරුවාගේ සිට ඉහළම නිලධාරීයා දක්වා සියළු දෙනාවම ඇගයීමකට ලක් කර ඒ අයට ඇගයීම් සම්මාන ලබාදෙන්නත් කි‍්‍රයා කරනවා. මොකද මේවා අවසාන වශයෙන් අපේ පහළම ඉන්න කම්කරු මහත්වරු. ඒ වගේම වැදගත්ම දේ මේ කසළවලින් සල්ලි හම්බකරපු, සක්කු පුරවගත්ත මාෆියාවක් තිබුණා. අද ඒ මාෆියාව ඉවරයි. ඒ අයට නැවත මේ රටේ, මේ ආයතනවල හිස ඔසවන්න අපි ඉඩ තියන්නේ නැහැ. දැන් අරමුදල් ලැබෙනවා නම් ලැබෙන්නේ රාජ්‍ය අංශයට. එයත් විශාල ශක්තියක්. ඒ වගේම කසළවල වගකීම ආණ්ඩුවට පැවරිය යුතු නැහැ. ඒවායේ වගකීම කසළ ජනනය කරන අයද භාරගත යුතුයි. ඒ ප‍්‍රතිපත්තිය රජය ඉදිරියේ දී කි‍්‍රයාත්මක කළ යුතුයි. 

විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් බද්ද, මම ගරු මුදල් ඇමතිතුමාටත් යෝජනා කර තිබෙනවා ඉදිරියේදී  කසළ කළමණාකරණය සඳහා පළාත් පාලන ආයතනවලට ලබාදෙන ලෙස. මොකද ඒ අයටත් නොයෙක් මූල්‍ය දුෂ්කරතා තිබෙනවා මේ බද්ද සැලකිය යුතු මට්ටමකින් ප‍්‍රමාණවත් රටේම කසළ කළමනාකරණය විධිමත් කර ගන්න. ඒකටත් රජය විසින් යම්කිසි අරමුදල් සේවනයක් සිදුවන නිසා ඒකත් මේකට ගෑවෙන කි‍්‍රයාවලියක්. 

නැවතත් දේශපාලන හා සමාජ කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා මේ කි‍්‍රයාවලියට කරුණාකර බාධා කරන්න එපා. මේ කි‍්‍රයාවලිය විද්‍යාත්මක දේශපාලන බේදයකින් තොරව කි‍්‍රයාත්මක වන කි‍්‍රයාවලියක්. ඒ සඳහා ඔබේ සහයෝගය ලබාදෙන්න. නැතිනම් නැවතත් ලබන වසරේ කොළඹ, අඳුරු, මදුරුවන් සහිත, පාරවල් කුණු වූ යුගයට ගමන් කරයි. ඒ නිසා සියළු දෙනාගේම සහයෝගය හා ඉදිරි පියවරයන් ගන්න අපට සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා යයි පැවසීය.