ආයෝජකයින් අත දෙන්න රජයෙන් රුපියල් කෝටි 500ක්

ආයෝජකයින් අත දෙන්න රජයෙන් රුපියල් කෝටි 500ක්

November 15, 2017   01:51 pm

ආයෝජකයින් දිරි ගැන්වීම සඳහා රුපියල් කෝටි 500 ක් වෙන් කර ඇති බවත් කාරණා තුනක් මුල් කර ගනිමින් එම කටයුත්ත සිදු කරනු ලබන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රි ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී Index South Asia 2017 වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීමට එක් වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පළමු කාරණය ලෙස දේශීය ආදයම් පනත මඟින් සියයට 200 ක සහනයක් ලබා දී ඇති බවත් එය වසර 2කට පමණක් සිමා වන අතර අද ආයෝජන කළ විට අනාගතයේ දී එහි ප්‍රතිලාභ හිමි වන බව ද අගමැතිවරයා පැවසීය.

දෙවැනි කාරණය වශයෙන් ආයෝජන සඳහා තරඟකාරී වෙළඳ පොළක් නිර්මාණය කිරීමත් විශේෂයෙන් වෙළඳ ගිවිසුම් සමඟ විශාල වෙළඳ පොළක් ඇති කළ යුතු අතර ජාතික යෝවුන් සේනාංකය මාර්ගය පුහුණු ශ්‍රමිකයන් බිහි කරන බව ද අගමැතිවරයා කියා සිටියේය.

ඇඟළුම්, රෙදිපිළි හා ඇඟළුම් ආශ්‍රිත සේවා සඳහා වන දකුණු ආසියාවේ එකම හා විශාලතම වෙළඳ ප්‍රදර්ශනය වන අතර තෙවන වරටත් පැවැත් වනු ලබයි.

අද සිට ලබන 17 වන දා දක්වා පැවැත් වෙන වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රි ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, චීනය, දකුණු කොරියාව, තායිවානය. හොංකොං, තායිලන්තය,ඉන්දුනීසියාව, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, තුර්කිය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව හා තවත් රටවල් 15 පමණ අයත් ප්‍රදර්ශනකරුවන් 200 කට අධික සංඛ්‍යාවක් සිය දායකත්වය ලබා දී තිබේ.

මෙවර ප්‍රදර්ශනයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඩුබායි, ඇමෙරිකාව, ජර්මනිය, ස්පාඤ්ඤය, ඉතාලිය ඇතුළු රටවල් 16කින් පමණ ගැනුම්කරුවන් පිරිසක් ද කොළඹට පැමිණ සිටියි.

මෙයට සමගාමීව දිවයින පුරා විවිධ වැඩසටහන් පැවැත්වෙන අතර නව නිපැයුම් ඇඟළුම් කර්මාන්තය පිළිබඳ වැඩසටහන් ද ඊට ඇතුළත්ය.

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සමුළුවේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා අපනයන ප්‍රවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු මෙම ප්‍රදර්ශනයට ආසියාවේ ප්‍රධාන ඇඟළුම් සංවිධානවල සහයෝගය ද ලැබී ඇත.