කාන්තාවන්ගේ අඩුව බරපතළ ගැටළුවක්-තැන දෙන්න අපි නීති හදනවා

කාන්තාවන්ගේ අඩුව බරපතළ ගැටළුවක්-තැන දෙන්න අපි නීති හදනවා

November 14, 2017   10:44 pm



රාජ්‍ය සේවය තුළ කාන්තා නියෝජනය සුදුසු ආකාරයට පවතින නමුත් දේශපාලන ක්ෂේත‍්‍රයේ හා ව්‍යවස්ථාදායකයේ කාන්තා නියෝජනයේ අඩුව බරපතළ ගැටළුවක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“ ඇයට බලයක් – රටට වෙනසක් ” තේමාව යටතේ පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අද (14) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එමෙන්ම වත්මන් රජය යටතේ කාන්තා නියෝජනය වෙනුවෙන් නීති සම්පාදනය කරමින් ක‍්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සමාජයේ ඇති වන බොහෝ ගැටළු සඳහා වෙනස් ආකාරයකින් කාන්තාවන් මුහුණ දෙන ආකාරය පෙන්වා දුන් ඒ මහතා තම රජය කාන්තා නියෝජනයේ වැදගත්කම පිළිගෙන තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.

ලොව සංවර්ධිත රටවල බොහෝ අංශයන් හි කාන්තා නියෝජනය වැඩි වශයෙන් හා සම වශයෙන් පවතින බව ද ඔහු  සිහිපත් කළේය.

මෙහිදී ”ඇයට බලයක් – රටට වෙනසක් ” තේමා ලාංඡනය හඳන්වා දීම හා ෆේස් බුක් පිටුවක් ආරම්භ කිරීම ද  සිදුවිය.

දිවයින පුරා සිදු කළ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනේ වාර්තාව හා අත්සන් ලේඛනය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අතින් ජනාධිපතිවරයා වෙත පිරිනැමිණි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාෆා, චන්ද්‍රානී බණ්ඩාර, තලතා අතුකෝරාල, නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරියන් වන අනෝමා ගමගේ හා සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය ඇතුළු මහත්ම මහත්මීන්, තානාපතිවරුන් හා විදෙස් නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.