යාපනය සරසවි සිසුන් පංති  වර්ජනයක

යාපනය සරසවි සිසුන් පංති වර්ජනයක

October 21, 2017   01:01 pm



යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පංති  වර්ජනයක් ආරම්භ කර තිබේ.

අද (21) දිනයේ සිට දින 05ක කාලයක් මොවුන් මෙම පංති වර්ජනයේ නිරත වන බව වාර්තා වෙයි.

ද්‍රවිඩ සිරකරුවන් නිදහස්  කිරීම සම්බන්ධයෙන් රජය යහපත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙලෙස පංති වර්ජනය නිරතවීමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාග කිහිපයක් ද අවලංගු කිරීමට සිදුව ඇති බව සඳහන්ය.

යාපනය විශ්වවිද්‍යාලයේ සියලු පීටවල සිසුන් මෙම වර්ජනය සඳහා එක්ව සිටින අතර වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ විභාග දෙකක් ලබන 31 වනදා පැවැත්වෙන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිසුන් වෙත දැනුම්දී තිබේ.

මේ අතර දේශපාලන සිරකරුවන් පිළිබඳ පවතින ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ද අවධානය මේ වන විට යොමුව ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන 25 වනදා දක්වා කාලය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

නීතිපති උපදෙස් සහ අධිකරණ අමාත්‍යංශයේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන බව පසුගියදා පැවැති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

මේ අතර ලබන 25 වනදා වන විට මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබා නොදුනහොත් මෙම පංති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට ද සිසුන් ප්‍රකාශ කර තිබේ.