මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් කැපවීම සහතිකයි

මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් කැපවීම සහතිකයි

October 20, 2017   03:30 pm

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ රජයටත් ජනතාවටත් ඉදිරියට යෑමට ඇති මාර්ග පිළිබඳ කරුණු පැහැදිලි කෙරිණි.

2015 හා 2016 වසරේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමේ අවශ්‍යතාවයක් ඇතැයි අගමැතිවරයා අවධාරණය කර සිටියේය.

වර්තමානයේ ගොඩනගාගත් දෙය රැක ගැනීම හා ආර්ථිකය ශක්තිමත් කර ගැනීම වර්තමානයේ ඇති අභියෝගය වන බවත්, ඒ සඳහා ආර්ථිකය ස්ථාවර කර රටේ අනාගත පරපුර ණය බරින් නිදහස් කළ යුතු බවත්, ඉන් අනතුරුව ආර්ථිකය පුළුල් කරමින් සියලු ශ්‍රී ලාංකීකයන්ට සමෘද්ධිමත් වීමේ අවස්ථාන ලබා දිය යුතු බවත් අගමැතිවරයා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා මෙසේ ද පැවසීය.

“මහා ණය කන්දරාවක අභියෝගයත්, ඒ සමඟ බැඳුණු අපේ ජංගම ගිණුමේ ශේෂය හා රජයේ අයවැය යන දෙකෙහි පරතරයත් අපට උරුම වුණා. රජයේ ආදායම දිගින් දිගටම අඩුවීමත්, ඒ සමග දැඩි වියදම් ගලනයත් හේතුවෙන් දේශීය හා විදේශීය ණය මගින් අයවැය පරතරය පියවාලන්නට සිදුවුණා. 

2015 දී රජයේ මුළු ආදායමින් 90.6% ක්ම වැය කළේ ණය සේවා සඳහායි. 2016 දී මේ සංඛ්‍යාව 80% ක්.

අපේ ආදායමට වඩා වියදම් වැඩි වීම සම්බන්ධව අවධානය යොමු කිරීම හදිසි අවශ්‍යතාවයක්. දේශීය ආදායම් පනත සම්මත කර ගැනීමෙන් ආදායම් උත්පාදනයෙන් මූල්යො ස්ථාවරත්වය ගොඩනැගීමේ ක්‍රියාවලියකට මුලපුරා ඇති අතර දැනටමත් එමගින් යහපත් ප්‍රතිඵල දක්නට ලැබී තිබෙනවා.

රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇති අතර පසුගිය වසර දෙක ඇතුළත ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. 

2014 දී 11.6% ක් වූ දළ දේශීය නිෂ්පාදිතය හා ආදායම අතර අනුපාතය 2016 දී 14.2% දක්වා ඉහළ ගියා. 

2017 වර්ෂයේ මුල් හය මාසය ඇතුළත දළ දේශීය නිෂ්පාදිතය හා ආදයම අතර අනුපාතය 6.7% ක් වාර්තා කර තිබෙන අතර 2016 වර්ෂයේ මුල් අර්ධය තුළ ඒ අනුපාතය වූයේ 6% ක් පමණයි.  දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 79.3% ක් වන ණය බර 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 70% දක්වා පහත බැස්සවීමට බලාපොරොත්තු වෙනවා. 

ඒ වන විට අයවැය පරතරය 3.5% ට අඩුවෙන් තබා ගැනීමට අපේක්ෂාව කරනවා. මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අපේ කැපවීම සහතික කරමින් මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සවිබලගන්වනවා. “

Economic Policy Statement 2017 (Sinhala) by deranapics on Scribd