මත්පැන් තොගයක් සමඟ 1ක් දැලේ

මත්පැන් තොගයක් සමඟ 1ක් දැලේ

October 17, 2017   08:51 am




අලෙවි කිරීම සඳහා නිවසක විදේශීය සහ දේශීය මත්පැන් තොගයක් ගබඩා කර තබා ගෙන සිටි බව කියන අයෙකු ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම නිවසේ ගබඩා කර තිබූ බව කියන  මත්පැන් වර්ග 17 ට අයත් මත්පැන් බෝතල් 85 ක්ද වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.

ආරච්චිකට්ටුව පොලිස් වසමේ - විජය කටුපත ප්‍රදේශයේ නිවසක මෙම මත්පැන් ගබඩාව පවත්වා ගෙන ගොස් තිබී ඇති අතර එම නිවසේ තිබී තම බාරයට ගෙන ඇති මත්පැන්වල අවම වටිනාකම රුපියල් 3,18,000 ක් පමණ බව වැටලීම කළ නිලධාරීන් සඳහන් කරයි.

විජයකටුපත ප්‍රදේශයේ නිවසක් තුළ රහසිගතව මත්පැන් ගබඩාවක් පවත්වා ගෙන යන බවත්, එම ස්ථානයේ කිසිඳු බලපත්‍රයක් නොමැතිව මත්පැන් අලෙවි කිරීම සිදු කරන බවටත් ලැබී තිබූ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

එම මත්පැන් ගබඩාවේ මිළ අධික විදේශීය මත්පැන් වර්ගද තිබුණු බව වැටලීම කළ නිලධාරීන් සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ බාරයට ගත් මත්පැන් තොගය හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට ආරච්චිකට්ටුව පොලීසිය කටයුතු කර ඇත.