නුවරඑළිය ප්‍රාදේශීය සභා වැඩි කරන්න සැළසුම් සකස්කර අවසන්

නුවරඑළිය ප්‍රාදේශීය සභා වැඩි කරන්න සැළසුම් සකස්කර අවසන්

October 17, 2017   08:21 am



නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා සංඛ්‍යාව 12 දක්වා වැඩි කිරීමට අවශ්‍ය සැළසුම් මේ වන විට සකස් කර අවසන් බව ජාතික සහජීවනය පිළිබඳ අමාත්‍ය  මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද(17) පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි.

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පවතින ප්‍රාදේශීය සභා සංඛ්‍යාව පහක් වන අතර එය 12 දක්වා වැඩිකිරීමට මේ වන විට යෝජනා වී තිබේ.

ඊට රජය එකඟතාව පළ කර ඇති අතර පළාත් පාලන සංස්ථාපන පනත ගැසට් කිරීමට පෙර නව ප්‍රාදේශීය සභා නම් කිරීම සිදුවනු ඇති බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙමඟින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදුනොවන බව ද මනෝගනේෂන් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 6ක් අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙහිදී පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ආකාරය පිළිබඳවත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.