ප්‍රභාකරන්ගේ ඇසුර කෙටිවීම ගැන සෝල්හයිම්ට දුකයි

ප්‍රභාකරන්ගේ ඇසුර කෙටිවීම ගැන සෝල්හයිම්ට දුකයි

August 21, 2017   04:37 pm

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමඟ දිගුකාලයක් ගත කිරීමට නොහැකි වීම පිළිබඳව තමන් කනගාටුවන බව නොර්වේ හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් පවසයි.  

WION හි පද්මා රාවෝ සන්ඩාර්ජි සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ, වෙනත් කිසිදු විදේශිකයකුට වඩා ඔහු ප්‍රභාකරන්ව නිරන්තරයෙන් හමුවී ඇති බවයි.

“මම වෙනත් කිසිදු විදේශිකයකුට වඩා ඔහුව නිරතුරුව හමු වී තිබෙනවා. මොකද මගේ රාජකාරියේදී මම සාමාන්‍යෙයන් දෙමළ ජනතාව නිතර හමු වූ නිසා. එකම එක අවස්තාවකදී විතරක් මට මුස්ලිම් නියෝජිතයින් මුණ ගැහිලා තියෙනවා. සිංහල කීප දෙනකුත් හමු වෙලා තියෙනවා. නමුත් නිරන්තරයෙන්ම මට දෙමළ අය හමුවෙලා තියෙනවා.“

ප්‍රභාකරන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට තමන්ට අවස්ථාව ලැබුනේ නම් අනිවාර්යයෙන්ම ඔහුට වැඩි බලපෑමක් කිරීමට හැකියාවක් තිබුණු බව නොර්වේ හිටපු අමාත්‍යවරයා පැවසීය.

“අපි උත්සහා කළා ඔහු සමඟ වඩාත් කිට්ටු පෞද්ගලික සම්බන්ධතාවක් දැඩිව ගොඩනගා ගන්න. විශේෂයෙන්ම ඔහු වඩාත් ප්‍රිය කරන චිත්‍රපටි, ඉවුම් පිහුම්  වගේ දේවල් ගැන ඔහුත් එක්ක වැඩි පුර කතා කරලා. ඇත්තෙන්ම ඔහුට ඉතා හොඳට උයන් පිහියන්න පුළුවන්. ඒ වගේම ඔහු ස්වාභාවික පරිසරයටත් ඇලුම් කළා.“

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ වර්ථමාන ලේකම්වරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද වන එරික් සෝල්හයිම් වැඩිදුරටත් පවසා සිටියේ, ප්‍රභාකරන් සමඟ තමන් බලාපොරොත්තු වූ මට්ටමට පෞද්ගලික සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට අපහසු වූවේ ඔවුන්ට මුණ ගැසීමට තිබු කාලය බෙහෙවින් සීම සහිත වීමත්, ලංකා ආණ්ඩුව නිරතුරුවම උතුරේ සංචාරයන් සඳහා අවස්ථාව ලබා නොදීමත් නිසා බවයි.

“ඒ වගේම භාෂා ප්‍රශ්නයත් බලපෑවා. ඔහු කතා කළේ දෙමළෙන් නිසා අපට පරිවර්තකයකුගේ සහය ගන්න වුණා. ඒ කොහොම වුණත් ඔහු කවදාවත් සම්පූර්ණයෙන්ම විවෘත වුනේ නෑ.“ යනුවෙන් ඔහු පවසා ඇත.