රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය ගැන ගුරු සංගමයෙන් නිවේදනයක්

රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය ගැන ගුරු සංගමයෙන් නිවේදනයක්

August 20, 2017   04:00 pm


පදවි පරාක‍්‍රමපුර විභාග මධ්‍යස්ථානයේ රසායන විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයක් අඩුවීම පිළිබඳව වහා සොයා බැලිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ගුරු සංගමය මේ බව පෙන්වා දී තිබේ.

එම නිවේදනය පහත පරිදිවෙයි,

පදවි පරාක‍්‍රමපුර අංක 1407 දරණ විභාග මධ්‍යස්ථානයේ උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව දෙක කොටස ප‍්‍රශ්න පත‍්‍රයක් ප‍්‍රශ්න පත‍්‍ර  පැකට්ටුවෙන්අඩු වී තිබී ඇත. ඒ පිළිබඳව ලංකා ගුරු සංගමය විභාග කොමසාරිස්වරයාට පැමිණිලි කරන ලදී. මෙම අස්ථානගත වූ ප‍්‍රශ්න පත‍්‍රය සම්බන්ධයෙන් වූ තත්ත්වය වහාම හෙළි කිරීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීමකි.

පදවි පරාක‍්‍රමපුර විභාග මධ්‍යස්ථානයේ මෙසේ ප‍්‍රශ්න පත‍්‍රයක් අඩු වී තිබියදී රසායන විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රය පැවති 2017.08.19 දිනයේදීම ගම්පහ ප‍්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු බෙදා හැරි අත් පත‍්‍රිකාවක සඳහන් වූයේ ඔහු විසින් දෙන ලද අනුමාන ප‍්‍රශ්න පත‍්‍රයේ හා රසායන විද්‍යාව විභාග ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න සමාන බවයි.

මේ තත්ත්වය තුළ පදවි පරාක‍්‍රමපුර විභාග මධ්‍යස්ථානයට අදාළ ප‍්‍රශ්න පත‍්‍ර පැකට්ටුවෙන් ප‍්‍රශන් පත‍්‍රයක් අඩුවූයේ කෙසේද යන්න බරපතල ගැටළුකි. එසේම එය විභාග ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටකිරීමේ කි‍්‍රයාවලියක් ද යන්න වහා සොයා බැලිය යුතු තත්වයක් බව ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටී.

මීට පෙර 2012 වර්ෂයේදී ද සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයට පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් කලින් ලබා දී තිබුණි. ඒ පිළිබඳ විධිමත් කි‍්‍රයාමාර්ගයක් නොගත් විභාග දෙපාර්තමේන්තුව පය බරවායට පිටිකර බෙහෙත් බදින්නා සේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගවලට සති දෙකකට පෙර සියලූ උපකාරක පන්ති, ප‍්‍රශ්න පත‍්‍ර සාකච්ඡා කිරීම්,
සම්මන්ත‍්‍රණ ආදිය පැවැත්වීම තහනම් කරමින් චක‍්‍රලේඛ නිකුත් කිරීමේ පළ රහිත කි‍්‍රයාවක නිරත වෙමින් දරුවන්ට විභාගයට සූදානම් වීමේ අවස්ථාව අහිමි කරමින් සිටී.

මෙවර උසස් පෙළ විභාගයට අපේක්ෂකයින් 315227 පෙනී සිටින අතර සෑම වසරකම මීට ආසන්න ප‍්‍රමාණයක් විභාගයට පෙනී සිටී. මෙසේ අති විශාල අපේක්ෂකයන් ප‍්‍රමාණයකට විභාගය පැවැත්වෙමින් තිබියදී ප‍්‍රශ්න පත‍්‍රවල ගැටළු මතුවීම එම විභාග අපේකෂකයන්ගේ මානසික තත්වය ව්‍යාකූල වීමටත්, විභාගය කෙරෙහි ඇති විශ්වසනීයත්වය පලූදු වීමටත් බලපායි.

ජාතික විභාග ප‍්‍රශ්න පත‍්‍ර සම්බන්ධයෙන් උද්ගතව ඇති මෙම තත්ත්වය වැලැක්වීමටත්, විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන සියලූ විභාග, ගැටළු සහගත තත්වයන්ගෙන් තොරව විශ්වසනීයත්වයෙන් පැවැත්වීමටත් අවශ්‍ය පියවර වහා ගත යුතු බවත්, ඉහත සිද්ධීන් දෙකටම අදාළව විධිමත්ව පරීක්ෂණ පවත්වා අවශ්‍ය පියවර ගත යුතු බවත් ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්