නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම-ගිවිසුම පාර්ලිමේන්තුවට

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම-ගිවිසුම පාර්ලිමේන්තුවට

August 20, 2017   10:41 am



මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට බාරදීම සම්බන්ධයෙන් විස්තරාත්මක ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල ස්ථාපිත කිරීමේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත මෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා ද පනතක් ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය මණ්ඩලය ගන්නා ලද තීරණයක් අනුව අගෝස්තු මස පළමුවැනිදා සිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කළමනාකාරීත්වය සහ මෙහෙයුම් කටයුතු රජය විසින් බාරගත් අතර ඒ සඳහා ත්‍රෛයිපාර්ශවීය අභිප්‍රාය පළ කිරීමේ පත්‍රිකාවක් සෞඛ්‍ය අමාත්‍යංශය, දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය  ආයතනය සහ ලංකා බැංකුව අතර අත්සන් තැබුණු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම අභිප්‍රාය පළ කිරීමේ පත්‍රිකාව ඉක්මවා යන විස්තරාත්මක ගිවිසුමක් නීතිපතිවරයා විසින් දැනට කෙටුම්පත් කර පවතින බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

කෙටුම්පත් කෙරෙමින් පවතින ගිවිසුම සකස් කිරීමෙන් අනතුරුව අදාළ විධිමත් ගිවිසුම සඳහා අත්සන් තැබෙන අතර ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට පනතක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය කෙටුම්පත් කිරීම ද මේ වන විට අවසන් කෙරෙමින් පවතින අතර ඉන් අනතුරුව එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.