හිටපු ගුවන් හමුදාපතිට අවසන් වරටත් සිතාසි

හිටපු ගුවන් හමුදාපතිට අවසන් වරටත් සිතාසි

July 27, 2017   01:19 pm


හිටපු ගුවන් හමුදාපති හර්ෂ දුමින්ද අබේවික්‍රම මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා අද යළි සිතාසි නිකුත් කර තිබේ.

හිටපු ගුවන් හමුදාපතිවරයාට  ලබන නොවැම්බර් මස 2 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවසන් වරට සිතාසි නිකුත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කර ඇත.

සාක්ෂි ලබාදීම සදහා අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා හිටපු ගුවන් හමුදාපති හර්ෂ දුමින්ද අබේවික්‍රම මහතාට සිතාසි නිකුත් කර තිබුණ ද ඔහු අද දිනයේ අධිකරණයට ඉදිරිපත්ව නොමැවීම නිසා මෙලෙස සිතාසි නිකුත් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැව් අඟවමින් අම්පාර හිටපු නගරාධිපති ඉන්දික නලින් නමැති අය හිටපු ගුවන් හමුදාපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහු විසින්  ගුවන් හමුදා භටයෙකුට ලබාදී තිබුණු ස්ථාන මාරුවක් අවලංගු  කරන ලෙස දන්වා සිටීමේ සිද්ධියකට අදාළව පවරා ඇති නඩුවක 1වෙනි සාක්ෂිකරු ලෙස නම් කර ඇත්තේ හර්ෂ අබේවික්‍රම මහතාය.

ඒ අනුව අම්පාර හිටපු නගරාධිපති ඉන්දික නලින්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගොනුකර ඇති නඩුවේ සාක්ෂි ලබාදීමට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා අවසන් වරට මෙලෙස සිතාසි නිකුත් කරන බව විනිසුරුවරයා පවසා තිබේ.




පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.