පාසල් අවට පරිසරය පවිත්‍ර කිරීමේ තෙදින විශේෂ වැඩසටහනක්

පාසල් අවට පරිසරය පවිත්‍ර කිරීමේ තෙදින විශේෂ වැඩසටහනක්

July 26, 2017   04:02 pm



දීප ව්‍යාප්තව පාසල් සහ අවට පරිසරය පවිත්‍ර කිරීමේ තෙදින විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ලබන 28,29 හා 30 යන තෙදින තුළ එය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ලබන 28 වන සිකුරාදා දිනයේ පාසල්වල අධ්‍යයන කටයුතු නොපැවැත්වීමට හා එදින පාසල් ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.

එදින ශ්‍රමදාන කටයුතු සඳහා උචිත ආකාරයේ ඇඳුමකින් සැරසී දරුවන්ට පාසල වෙත පැමිණීමට ද අවස්ථාව ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

ලබන 29 වනදා සහ 30 වනදා ධූමායනය හා අනෙකුත් මදුරු මර්දන කටයුතු සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් සහ සෙසු අංශ සම්බන්ධීකරණය කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව සඳහන්ය.

ඒ සඳහා වූ චක්‍රලේඛ මේ වන විටත් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.