කොළඹ ඩෙංගු පාලනය කිරීමේ කඩිනම් වැඩසටහන් අදින් ඇරඹෙයි

කොළඹ ඩෙංගු පාලනය කිරීමේ කඩිනම් වැඩසටහන් අදින් ඇරඹෙයි

June 24, 2017   05:03 pm



කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අද(24) සිට ආරම්භ කර තිබේ.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සාමාජිකයින් 1000ක අමතර පිරිසක් මේ සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15හි ග්‍රාම නිලධාරි වසම් 557ක ඒකක 2600ක් තුළ මෙම වැඩසටහන ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහනට අනුව සෑම සිකුරාදා දිනයකම රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරීම සහ සෙනසුරාදා දිනවල නිවාස ආශ්‍රිත පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට නියමිතය.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15න් 14ක්ම අධි අවධානම් කලාප ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.