මින් ඉදිරියට මීතොටමුල්ලට කුණු නෑ

මින් ඉදිරියට මීතොටමුල්ලට කුණු නෑ

June 23, 2017   03:31 pm


මින් ඉදිරියට මීතොටමුල්ල කුණු කන්ද පිහිටි ප්‍රදේශයට කැළි කසළ බැහැර නොකරන බව කොළඹ මහ නගර සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

එම ප්‍රදේශයට කසළ බැහැර කිරීම තහනම් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේ කොළඹ මහ නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා  මේ බව දැනුම්දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

කැළි කසළ බැහැර කිරීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් යොදවන බව ද නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ මීතොටමුල්ල කුණු කන්ද හේතුවෙන් ජිවිත 40කට වැඩි සංඛ්‍යාවක් අහිමි වූ බවයි.

එබැවින් අදාළ පෙත්සම විභාග කර ජනතාවට සහනයක් ලබාදීම අවශ්‍ය බව එම නීතිඥවරුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 27 වනදා සිදු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.