ලංගම මුදල් නොගෙවීම ගැන මහින්දට එරෙහි නඩුව ලබන 26 කැඳවයි

ලංගම මුදල් නොගෙවීම ගැන මහින්දට එරෙහි නඩුව ලබන 26 කැඳවයි

May 23, 2017   05:08 pm



පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු සඳහා ලබාගත් බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවිය යුතු  රුපියල් මිලියන 142ක මුදලක් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුව ලබන 26 වනදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එම නඩුව ගොනුකර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

 කෙසේවෙතත් අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබු සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහ අනුර ප්‍රියදර්ශන මහතාගේ නම් ඉවත්  කරමින්  පැමිණිල්ල ඉදිරිපත් කර සංශෝධිත පැමිණිල්ලට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා සහ සෙසු විත්තිකරුවන් තිදෙනෙකු අධිකරණයට මූලික විරෝධතාවක් ගොනු කර තිබේ.

ඊට විරෝධතා ගොනු කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවසන් වරට දින ලබා දෙමින් එම නඩුව ලබන 26 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළේය.