කොල්ලකරුවන් අල්ලන්න ගිය කොස්තාපල්ට තුවාලයි-5ක් දැලේ

කොල්ලකරුවන් අල්ලන්න ගිය කොස්තාපල්ට තුවාලයි-5ක් දැලේ

May 19, 2017   09:13 pm



කඩුගන්නාව ප්‍රදේශයේ වෙළෙඳසැලක් කොල්ල කා පළා ගිය සැකකරුවන් පස් දෙනා හබරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලකරුවන් පිරිසක් අද (19) අළුයම කඩුගන්නාව ප්‍රදේශයේ වෙළෙඳසැලක් කොල්ලකා මෝටර් රථයකින් පළායමින් සිටින බවට හබරණ පොලීසියට තොරතුරු ලැබී තිබුණි.

ඒ අනුව හබරණ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් හබරණ නගරයේදී ක්ෂණික මාර්ග බාධක යොදා අදාළ මෝටර් රථය නවතා ඇති අතර පොලිස් නිලධාරියෙකු රථය පරීක්ෂා කිරීමට උත්සාහ දැරීමේදී රියදුරු විසින් රථය ධාවනය කර බවුසර් රථයක ගැටීමට සලස්වා ඇති බව සඳහන්ය.

එහිදී පොලිස් නිලධාරියා තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

මෝටර් රථයේ සිටි සැකකරුවන් පස් දෙනා පළා ගොස් තිබූ අතර හබරණ පොලීසිය සිදුකළ මෙහෙයුමකදී ත්‍රීකුණාමලය, සෙවණගම හා ගල්ඔය ප්‍රදේශ වලදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

තුවාල ලැබූ පොලිස් නිලධාරියා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රොහලට මාරු කර යවා ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාවත්ත, කාත්තන්කුඩි, වැලිකන්ද සහ කිරුලපණ යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර හබරණ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.