සබරගමු සිසුන් විදී බසියි

සබරගමු සිසුන් විදී බසියි

May 4, 2017   05:18 pm



සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එක් දින සත්‍යයග්‍රහයක නිරතවී තිබේ.

අද(04) උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා මෙම සත්‍යයග්‍රහය පැවති බව සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මනෝජ් ආරියසේන මහතා සඳහන් කළේය.

2015 – 2016 නවක කණ්ඩායම් බඳවාගැනීමේදී ශිෂ්‍ය කප්පාදුවක් සිදුකර ඇති අතර එම බඳවාගැනීම් පුරප්පාඩු  සම්පූර්ණ කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසට පරිපාලනයට බල කරමින් ඔවුන් සත්‍යයග්‍රහයේ නිරතව ඇති බව සඳහන්ය.

ව්‍යවහාරික විද්‍යා  පීඨ සඳහා බඳවාගත යුතු සිසුන් සංඛ්‍යාව 350ක් වුවද ලියාපදිංචි කර ඇත්තේ සිසුන් 217 දෙනෙකු පමණක් වන අතර කෘෂි විද්‍යා පීඨයේ ද පුරප්පාඩු 44ක් පවතින  බව වාර්තා වෙයි.

මනෝජ් ආරියසේන මහතා අද දෙරණට සඳහන් කළේ එම අධ්‍යයන වර්ෂ සඳහා සිසුන් 1305ක් බඳවාගැනීමට නියමිතව තිබුණත් බඳවාගෙන ඇත්තේ සිසුන් 1039ක් පමණක් බවයි.

ඒ හේතුවෙන් තවත් සිසුන් 266ක පුරප්පාඩුවක් පවතින බව මනෝජ් ආරියසේන මහතා කියා සිටියේය.

අද දෙරණ මේ සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ  උප කුලපති මහාචාර්ය චන්දන පී උඩවත්ත මහතාගේ විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ විශ්වවිද්‍යාල පරිපාලනය විසින් කිසිඳු සිසු කප්පාදුවක් සිදුකර නොමැති බවයි.