ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලැබෙයිද? ඡන්ද විමසීම අදයි
April 27, 2017 07:42 am
ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහන ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (27) සිදු කිරීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ජී.එස්.පී ප්ලස් බදු සහන ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සමග ඊයේ(26) දිනයේ සාකච්ඡා පැවැත් වූ බවයි.
වර්තමානයේ ශ්‍රී ලංකාව රජය විසින් යුරෝපා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදී අදාළ මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය, මානව හිමිකම් සහ සංහිඳියාව වැඩිදුයුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද හර්ෂ ද සිල්වා මහතා විසින් යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
ශ්‍රි ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබා නොදිය යුතු බවට පසුගියදා යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ද ඉදිරිපත් වුණි.
කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ යුරෝපා පාර්ලිමේන්තුව තුළ අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට සහය ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
ජී.එස්.පී ප්ලස් බදු සහන සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුවේ තීරණය යුරෝපා කොමිසමට දැනුම්දීමෙන් අනතුරුව යුරෝපා කොමිසම විසින් ඒ පිළිබඳව අවසන් තීරණය දැනුම් දීමට නියමිතය.
