එජාපය-ශ්‍රීලනිපය මැයි දින අර්ථය විකෘති කරනවා
April 26, 2017 05:03 pm
එජාපය කොළ පාට ඇඳගෙන, ශ්‍රීලනිපය නිල් පාට ඇඳගෙන පාර දිගේ නටමින් ඇමතිවරුන්ගේත්, ආසන සංවිධායකයින්ගේ නම් ගහ ගත්ත ටීෂර්ට් ඇඳලා, තොප්පි දාලා මැයි දිනය විකෘති කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
එසේ වුවද , මැයි දිනයේ වැඩකරන ජනතාවගේ සංකේත ප‍්‍රදර්ශනය කළ යුතුව ඇති බව ලේකම්වරයා කියා සිටියේ අද (26) බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
“මෙවර ජනතා විමුක්ති පෙරමුණ විසින් මැයි දින රැළි දෙකක් සංවිධානය කරනවා. එකක් සුපුරුදු පරිදි කොළඹදී පවත්වන අතර උතුරේ ජනතාව සම්බන්ධ කර ගනිමින් යාපනයේදී මැයි දින රැළියක් පවත්වනවා.
අද ප‍්‍රධාන ගැටළුවක් බවට පත්වෙලා තිබෙන්නේ, ජාත්‍යන්තර කම්කරු දිනයේ අරමුණු විකෘති කරලා ඇතැම් දේශපාලන පක්‍ෂ තමන්ගේ දේශපාලන අරමුණුවලට, ඡන්ද ව්‍යාපෘතිවලට යොදාගෙන තිබීමයි. එම පක්‍ෂ විසින් සිදුකරන්නේ මැයි දිනය විකෘතියක් බවට පත්කිරීමයි. එය වැඩ කරන ජනතාවට කරන අපහාසයක්. වැඩකරන ජනතාව පීඩාවට පත්කරන පක්‍ෂම මැයි දිනය බජව් දාන දිනයක් බවට පත්කරගෙන. එජාපය, ශ්‍රීලනිපය, මැයි දිනය දවසේ තමන්ගේ පාක්‍ෂිකයින්ට බොන්න දීලා, පාර දිගේ බජව් දාන දිනයක් බවට මැයි දිනය පත්කරගෙන. එජාපය කොළ පාට ඇඳගෙන, ශ්‍රීලනිපය නිල් පාට ඇඳගෙන පාර දිගේ නටමින් ඇමතිවරුන්ගේත්, ආසන සංවිධායකයින්ගේ නම් ගහ ගත්ත ටීෂර්ට් ඇඳලා, තොප්පි දාලා මැයි දිනය විකෘති කරනවා. මැයි දිනයේ වැඩකරන ජනතාවගේ සංකේත ප‍්‍රදර්ශනය කළ යුතුයි. වැඩ කරන ජනතාව නියෝජනය කරපු නායකයින් නියෝජනය විය යුතුයි. අපි පීඩිත ජනතාවගෙන් ඉල්ලනවා, මැයි දිනයේ අර්ථය විකෘති කරන්න, එයට අපහාස කරන්න දායක වෙන්න එපා කියලා.
මැයි දිනයේ පාට රතු පාටයි. 1886 මැයි පළවැනිදා කම්කරුවන් පාරට බැස්සේ සාමයේ සංකේතය වුණු සුදු කොඩිය සමඟයි. පොලීසිය කම්කරුවන්ට වෙඩි තියලා කම්කරුවන්ගේ ලේවලින් සුදු කොඩි රතුපාට වුණා. මැයි දිනයේ පාට වැඩ කරන ජනතාවගේ රුධිරයේ පාටයි. ඒක රනිල්ලා කොළ පාට කරනවා. මහින්දලා, මෛත්‍රීලා නිල්පාට කරන්න හදනවා.
සමහරු කියනවා මැයි දිනය දේශපාලන පක්‍ෂවලට අයිති නැහැ කියලා. ඒක සම්පූර්ණ ඇත්තක් නෙවෙයි. මැයි දිනය සමරන්න ධනපති පක්‍ෂවලට අයිතියක් නැහැ. නමුත් වමේ ව්‍යාපාරවලට අයිතියක් තිබෙනවා. ලෝකයේ කොමියුනිස්ට් පක්‍ෂ තමයි මැයි දිනය නම් කරන්න පෙරමුණ ගත්තේ. 1889දී ලොව පුරා කොමියුනිස්ට් පක්‍ෂවල දෙවන ජාත්‍යන්තරය තමයි තීන්දුවක් ගත්තේ. 1890 සිටයි මැයි දිනය සමරන්නේ. ඒ නිසා ඒක කොහෙත්ම ධනපති පංතියට අයිති දිනයක් නොවෙයි.
මේ රටේ හැට ලක්‍ෂයක් පමණ නියෝජනය කරන පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ඊ.පී.එෆ් අරමුදලින් සූදු කෙළපු පහුගිය ආණ්ඩුවත් බැඳුම්කර හොරකමට යොදාගත්ත වර්තමාන ආණ්ඩුවත් කම්කරු දිනය සමරන්නේ කොහොමද? වතුකරයේ ජනතාව තමන්ගේ දෛනික වැටුප රු. 1,000/-ක් කරන්න සටන් කරන විට ඒ ගැන කිසිදු අවධානයක් යොමු නොකරන ආණ්ඩුව කම්කරු දිනය ගැන කතා කරන්නේ කොහොමද? වැඩකරන ජනතාව තමන්ගේ අයිතිීන් ඉල්ලලා උද්ඝෝෂණය කරනකොට ඒවාට පහර දීලා, මර්දනය කරනවා. සේවකයින් ආයතනවලින් එළියට දානවා. එහෙම ආණ්ඩුවකට මැයි දිනය සමරන්න ලැජ්ජ නැද්ද? යූ.ඇන්.පී.ය, ශී‍්‍රලනිපය මැයි දිනය සමරනවා කියන්නේ ලැජ්ජ නැති වැඩක්.
වැඩ කරන ජනතාවට උද්ඝෝෂණය කිරීමේ අයිතිය අහිමි කරන ආණ්ඩුව මැයි දිනය සමරන්න උත්සාහ කිරීම කණගාටුවට කරුණක්. මැයිදිනය කියන්නේ අරක්කු බීල පාරේ බජව් දාන දිනයක් නෙවෙයි. ඒ පක්‍ෂවලින් මැයි දිනය බේරාගන්න ඕනෑ. මැයි දිනයේ අරමුණු විකෘති කරන් දරන උත්සාහය පරාජයට පත්කරන්න ඕනෑ.
මේ මැයි දිනය ජනතා විමුක්ති පෙරමුණටත් මේ රටේ ජනතාවටත් විශේෂයි. මේ වෙලාවේ රට තුළ සමාජ ආර්ථික, දේශපාලන අර්බුදයක් තිබෙනවා. මේ ආණ්ඩුවට කිසිදු ජන කණ්ඩායමක අයිතීන් සුරක්‍ෂිත කරන්න බැරිවෙලා තිබෙනවා. රටට ආදායම් ලැබෙන නිෂ්පාදන මාර්ග කඩා වැටිලා. ඉස්කෝලේ යන කාලේ උගන්වපු විදිහට තේ පොල් රබර්වලින් ආදායම ලැබෙන්නේ නැහැ. ආදායම අඩු වෙලා රටේ වියදම් වැඩිවෙලා තිබෙනවා. පරම්පරා ගාණකදී ගෙවන්න බැරි තරමට ණය අරගෙන තිබෙනවා. මීතොටමුල්ලේ කුණු කන්දට වඩා ණය කන්ද ලොකුයි. මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුණේ, මීතොටමුල්ලේ ජනතාව මතයි. ණය කන්ද තිබෙන්නේ කෝටි දෙකක් ජනතාවගේ හිස මතයි. මීතොටමුල්ල කුණු කන්ද ගොඩගහපු අයමයි ණය කන්දත් ගොඩගහලා තිබෙන්නේ. කුණු කන්දටත් ණය කන්දටත් වගකියන්න වෙලා තිබෙන්නේ මේ රටේ ජනතාවටයි. මේ ණය කන්දෙන් බේරෙන්න ආණ්ඩුව කරන්න යන්නේ හම්බන්තොට වරාය විකුණන එකයි. ඉඩම් අක්කර 15,000ක් විදෙස් සමාගම්වලට දෙන එකයි. ඉතා වටිනා ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට විකුණන එකයි. මිනිරන් පතල් ටික විකුණන එකයි. මේ බංකොළොත් ආර්ථිකයට තවදුරටත් මේ විදියට ඉදිරියට යන්න බැහැ. “
