රනිල් මේ සැරසෙන්නේ පොලියත් එක්ක ණය ගෙවන්නයි

රනිල් මේ සැරසෙන්නේ පොලියත් එක්ක ණය ගෙවන්නයි

April 25, 2017   01:52 pm

ශ්‍රී ලංකාව සතු බලශක්ති සුරක්‍ෂිතතාව අහිමිකර ඉන්දියාවට අල්ලේ නැටවීමට හැකි පරිදි අවාසිදායක කරුණු 12කින් යුත් අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සූදානමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

    අද(25) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය.

    “ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් ආරම්භ කළ වර්ජනය මේ වන විට අවසන්ව තිබුණත්, ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව පිහිටා ඇති තෙල් ටැංකි සහ ඉඩම් ඉන්දියාවට පවරා දීමේ අනතුර තවමත් පහව ගොස් නැහැ. සේවකයන්ට කවර පොරොන්දු දුන්නත් අගමැති රනිල් වික්‍රමසිංහ හොර රහසේ ඉන්දියාව සමඟ එළඹිමට නියමිත අවබෝධතා ගිවිසුමක් මගින් මේ සියල්ල ඉන්දියාවට ලැබේවි.

    මේ අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා අගමැතිවරයාගේ අදින් ඇරඹෙන ඉන්දීය සංචාරයේදී හෝ ඉන්දීය අගමැතිවරයාගේ මෙරට වෙසක් සංචාරයේදී හෝ අත්සන් තැබේවි. 2003 වර්ෂයේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව සතු තෙල් ටැංකි පවරා දුන්නා. ජනතා විරෝධය හා 2004දී ලැබුණු මැතිවරණ පරාජය නිසා ඉන්දියාවට තෙල් ටැංකි කිහිපයක් හැර වෙනත් කිසිවක් පවරා දෙන්න රනිල් වික්‍රමසිංහ පාලනයට හැකි වුණේ නැහැ. ඒ නිසා 2015 ජනවාරි බල පෙරළියට උර දුන්නු ඉන්දියාවට ‘පොලියත් එක්ක ණය ගෙවන්න’ දැන් රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වෙනවා.

    මා ඉහත කියූ අවබෝධතා ගිවිසුමෙහි ශ්‍රී ලංකාවට හානිකර කරුණු 12ක් අඩංගුයි. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත ප්‍රදේශයේ තෙල් ටැංකි හා ඉඩම් ඉන්දියාවට පවරා දීම, නව තෙල් පිරිපහදුවක් ඇරඹිම. එල්.පී. ගෑස්, නල පද්ධතියක් ඔස්සේ කොළඹ නාගරික සීමාව තුළ බෙදා හැරීම ආදියට ඉන්දීය රජයට ඉඩ සලසමින් තමයි මේ ගිවිසුම අත්සන් තැබෙන්නේ.

    මේ අවබෝධතා ගිවිසුමේ අවසන් අරමුණ තමයි, ශ්‍රී ලංකාව සතු බලශක්ති සුරක්‍ෂිතතාව, ඉන්දියාව සතුකර ගැනීම. සැහැල්ලු ස්වාභාවික වායු,  සූර්යතාප ආදී සියලු බලශක්ති ප්‍රභව ඉන්දියාවේ ඒකාධිකාරියට යට කරලා ශ්‍රී ලංකාව අල්ලේ නැටවීමයි ඔවුන්ගේ උවමනාව මේ ආණ්ඩුව තමන් බලයට ගෙනා රටවල්වලට සන්තෝෂම් ගෙවන්නේ මේ විදිහටයි. මේ තත්ත්වය නිවැරදිව වටහා ගනිමින් කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාව, ජාතික ආරක්‍ෂාව අහිමි වේවි.


    මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් මියගිය ජනතාවගේ පවුල්වලට හෝ ඒ නිසා දේපළ හානි සිදු වූ ජනතාවට සහන සැලසීමට මේ ආණ්ඩුවට කිසිදු උවමනාවක් නැති බවයි පෙනෙන්නේ. සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පසුවත් මේ ආණ්ඩුව කටයුතු කළේ මේ ආකාරයටම නොසැලකිලිමත් ලෙසයි. ඇමති බෙන්ස් රථයකට රුපියල් ලක්‍ෂ 320ක් වැය කරන මේ ආණ්ඩුව, ඒ අනවශ්‍ය වියදම නතර කළා නම් මීතොටමුල්ල ඛේදවාචකයෙන් මියගිය අයකුට රුපියල් ලක්‍ෂ 50කට අධික වන්දි මුදලක් ගෙවන්න තිබුණා.

    මේ ආණ්ඩුව ජනතා ප්‍රශ්නවලට ඇහුම්කන් නොදී අද ඒ ප්‍රශ්න විසඳීමට කඳුළු ගෑස් සහ බැටන් පොල්ලට බාරදී තිබෙනවා. මේ තත්ත්වය ජනතාව හැමදාම ඉවසයි කියා හිතුවොත් ඒක මුලාවක්.