මීතොටමුල්ල ජනයාට රු.50,000 බැගින් මාස 3ක මුදල් එකවර ලැබෙයි

මීතොටමුල්ල ජනයාට රු.50,000 බැගින් මාස 3ක මුදල් එකවර ලැබෙයි

April 25, 2017   12:53 pm


මීතොටමුල්ල කසළ කන්ද නායයෑමෙන් විපතට පත් පවුල් සඳහා තාවකාලික නිවාස ලබාගැනීම වෙනුවෙන් මසකට රු. 50,000 බැගින් මාස තුනක කාලයක් ගෙවීමට නියමිත මුදල, එකවර එම පවුල් වෙත ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දුන්නේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී බැව් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කුණු කසළ කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන සකස් කර ඇති සැළසුම් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිතුමා, සියලු පළාත් සහකාර කොමසාරිස්වරුන්ට තමා හමුවීමට කැඳවීමක් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

තවද කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් පුහුණු සහ නිරීක්ෂණ කටයුතු සඳහා පසුගිය වසර 05 ක කාලය තුළ විදේශ ගතවූ නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසට  ජනාධිපතිවරයා විසින් පරිසර අධිකාරියට නියෝග කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහන් කර සිටියේ මීතොටමුල්ල කසළ කන්දේ අවදානම මේ වනවිට පාලනයට යටත් කර තිබෙන බවත් ඉදිරි මාස දෙකක කාලය තුළ ඒ සඳහා අවසන් තීරණයකට එළැඹෙන බවත්ය.

කසළ කළමනාකරණය වෙනුවෙන් කොළඹ නගර සභාව ඉදිරි කාලයේදී අනුගමනය කිරීමට අපේක්ෂා කරන ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අදහස් ඉදිරිපත් වූ අතර ඒ අනුව ඉදිරියේදී කසළ කඳු නිර්මාණය වීමට කිසිදු ඉඩක් නොතබන බවට නිලධාරීන් මෙහිදී  ජනාධිපතිතුමාට සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප‍්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, ෆයිසර් මුස්තාෆා, සාගල රත්නායක, වජිර අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පා.ම. එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, ත‍්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.