තොරතුරු පනත යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නව යාන්ත්‍රණයක්

තොරතුරු පනත යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නව යාන්ත්‍රණයක්

April 22, 2017   08:34 am

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු ඉල්ලීම් සමාලෝචන කමිටුව පත්කිරීමට පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් එම කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරිණි. මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයේ ඒ සඳහා පිහිටුවා ඇති කාර්යාලය මඟින් හෝ  http://edulk.info/rti/ වෙබ් අඩවිය හා සම්බන්ධ වීම මඟින් ලබාගැනීමේ හැකියාව සලසා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු ලබාදීමේ නිලධාරියා ලෙස අතිරේක ලේකම් (පාලන හා මුදල්) එච්. හේවගේ මහතා කටයුතු කරයි.

තොරතුරු ඉල්ලීම් සමාලෝචන කමිටුවේ සාමාජිකයන් ලෙස අතිරේක ලේකම් (ප්‍රතිපත්ති සැලසුම් හා ප්‍රගති සමාලෝචන), අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන), අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා ආයතන), අතිරේක ලේකම් (ප්‍රසම්පාදන හා ඉදිකිරීම්), අතිරේක ලේකම් (පාසල් කටයුතු) හා නීති උපදේශකවරයා පත් කර ඇති අතර සමාලෝචන කමිටුවේ ලේකම්වරයා ලෙස ජාතික මෙහෙයුම් මැදිරියේ අධ්‍යක්ෂවරයා පත් කර තිබේ.  

කමිටුව විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව මෙම කාර්යය සඳහා රාජකාරීමය වශයෙන් ප්‍රමුඛතාව ලබා දී කටයුතු සිදුකිරීමට නියමිතයි.

සමාලෝචන කමිටුවේ කටයුතු පිළිබඳ සෑම මාසයකම තමාට වාර්තා කරන ලෙස ද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක් වූහ.