ගොවිජන සම්මේලනයෙන් චෝදනාවක්

ගොවිජන සම්මේලනයෙන් චෝදනාවක්

April 21, 2017   03:25 pm


ආණ්ඩුව ගොවීන් රක්ෂණය කිරීමට කටයුතු කරන්නේ ඔවුන්ට ලබාදෙන වගා හානි මුදලින් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ල ප්‍රදේශයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

2013 වසරේ සිට ආරම්භ කළ වසරකට රු බිලියන 1 .6ක මුදලක් එකතු වූ ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ පැවති වගා බදු අරමුදලේ කෝටි 600ක මුදලට මේ වනවිට සිදුවී ඇත්තේ කුමක්ද යන්න වහාම රජය ජනතාවට දැනුම් දිය යුතු බවත්, මේ අරමුදලේ තිබුණු මුදල් කෝටි 150ක් හැර ඉතිරි මුදල් අතුරුදන් වී තිබෙන බවත් තමන් වගකීමෙන් යුතුව හෙළිදරව් කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

දැනට ගොවීන්ට ලබාදෙන වගා හානි සදහාවූ මසකට ගෙවන රු 10000ක  වන්දියෙන් රු 1350ක මුදලක් රක්ෂණයකට බව පවසා කපා ගන්නා බවත්, හෙළි කරමින් කිවේ එම මුදල කපා ගැනීම වහාම නවතා ගොවීන් වෙනුවෙන් 2013 වසරේ රජය අයවැය මඟින් ක්‍රියාත්මක කළ වගා බදු අරමුදලින් ගොවීන්ට ගෙවන ලෙසද කිවේය.

මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික රක්ෂණ භාර අරමුදල ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් ස්ථාපිත කොට ඇති අරමුදලක් බවත්, මේ අරමුදලට රාජ්‍ය හා පුද්ගලික මුල්‍ය ආයතනවලින් වාර්ෂික ආදායමෙන් වසරකට සියට 01 බැඟින් අයකර ගෙන සැදුම් ලත් අරමුදලක් බව කීවේය.

මේ අරමුදලින් වගා වන්දි ගෙවීමට  ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් රු කෝටි 450ක මුදලක් ඉල්ලා තිබෙන බවත්, එම අරමුදලේ ඇත්තේ රුපියල් කෝටි 150ක් පමණක් බව දැනුම් දී තිබෙන බවද ඒ මහතා පැවසීය.