කුණු නිසා අදත් විරෝධතා

කුණු නිසා අදත් විරෝධතා

April 21, 2017   01:17 pm



කොළඹට එක්රැස් වන කැළි කසළ වත්තල , බෝපිටිය ප්‍රදේශයට බැහැර කිරීමට එරෙහිව  මේ වන විට විරෝධතාවක් පැවැත්වෙයි.

 ප්‍රදේශයේ ආගමික නායකයින්, දේශපාලනඥයින් සහ ජනතාව එක්ව මෙම විරෝධතාව පවත්වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

 මේ අතර අධිකරණ නියෝග  නොතකමින් පසුගිය 19 වනදා පිළියන්දල කරදියාන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත්  සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාආරච්චි  මහතා ඇතුළු  06 දෙනෙකුට සිතාසි  නිකුත් කර තිබේ.

කොළඹට එක්රැස් වන කැළි කසළ පිළියන්දල කරදියාන කසළ අංගනයට බැහැර කිරීමට අවසර ලබා දෙමින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 17 වනදා නියෝගයක් නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් පිළියන්දල කරදියාන කසළ අංගනයට කසළ බැහැර කිරීමට එරෙහිව පසුගිය  19 වනදා පිරිසක් මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත වුණි.

ඒ අනුව විරෝධතාවයේ නිරත වූ ලක්ෂ්මන් නිපුනාආරච්චි  මහතා ඇතුළු  06 දෙනෙකුට  ලබන 24 වන දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසී නිකුත් කර ඇති බව පිළියන්දල පොලීසිය පැවසුවේය.