නියඟයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහනයක්

නියඟයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහනයක්

March 30, 2017   12:44 pm


නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ආපදාවෙන් පෙළෙන දිස්ත්‍රික්ක 14 ක ජනතාවට පානීය ජල අවශ්‍යතා සපුරා දීමට ජල බවුසර් සහිත ට්‍රැක්ටර් 50 ක් බෙදා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

අද (30) පැවති එම වැඩසටහනේ සමාරම්භ උත්සවයට සහභාගී වෙමින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ විවෘත ටෙන්ඩර් ක්‍රමයක් මඟින් අඩු මිලකට ලබා ගෙන ඇති මෙම බවුසර් ජලය තිබෙන කාලවලදී මුදල් ගෙවා කුලියට ලබා දීමට වුවද හැකි වන බවයි.

කෙසේ වෙතත් බවුසර් ලබා දීම පමණක් ලංකාවේ පවතින ජල ගැටළුවට ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා දිගු කාලීන වැඩපිළිවලක් අවශ්‍ය වන බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය. 

මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් මිලියන 96 ක මුදලක් වැය කර තිබේ. 

පුත්තලම, බදුල්ල, කෑගල්ල, මහනුවර,රත්නපුරය,ගම්පහ,කුරුණෑගල, හම්බන්තොට,අනුරාධපුරය, පොළොන්නරුව,අම්පාර,ගාල්ල,මාතර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ජනතාවට මෙම බවුසර් බෙදා දීමට කටයුතු යොදා ඇත.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ආපදා තත්ත්වයන්ට පත් ජනතාවට පානීය ජලය බෙදා දීම සඳහා මෙම බවුසර් යොදා ගැනීමට නියමිතව තිබේ.