මුදල් අයකර ධූරය වනසන සාමවිනිසුරුවරයෙක්

මුදල් අයකර ධූරය වනසන සාමවිනිසුරුවරයෙක්

March 22, 2017   09:26 am

මුදල් අයකරමින් ලියවිලි සහතික කරන සාමවිනිසුරුවරයෙකු පිළිබඳව කොළඹ අලුත් කඩේ ප්‍රදේශයෙන් අද දෙරණ උකුස්සාට වාර්තා විය.

සාම විනිසුරුවරයෙකු පත් කිරීමේදී ලබාදෙන පත්වීම් ලිපියේ පස්වන වගන්තියේ සඳහන් වන්නේ දිවුරුම් පත්‍ර හෝ වෙනත් ලියවිලි හෝ සහතික කිරීම සම්බන්ධයෙන් කිසිම ගාස්තුවක් අයකර ගැනීමට නොහැකි බවයි.

ඒ නිසාම  උකුස්සා මුදල් අයකරනු ලබන සාම විනිසුරුවරයා සොයා රහසිගතව එම ප්‍රදේශයට ළඟා වුයේය.

එහි ගිය උකුස්සාට අනාවරණ වුණේ වසර 25ට අධික කාලයක සිට මෙම පුද්ගලයා විසින් මෙම කටයුතු සිදුකරන බවයි.

දිවුරුම් පත්‍රයක් හෝ වෙනත් ලියවිල්ලක් සාම විනිසුරුවරයෙකු තහවුරු කිරීමේදී අවශ්‍යතාවය පවතින පුද්ගලයා අදාල සාමරවිනිසුරුවරයා ඉදිරියේ සිට එය තහවුරු කරගත යුතු වූවත් මෙහි සිටින සාමවිනිසුරුවරයා කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනෙන ලද වෙනත් පුද්ගලයින්ගේ ලියකියවිලි සහතික කරන්නේ කිසිදු සොයා බැලීමකින් තොරවයි.

අනතුරුව ක්‍රියාත්මක වූ උකුස්සා දූෂිත සාම විනිසුරවරයාගෙන් දිවුරුම් පත්‍රයක් සහතික කරගත් අතර එහිදී අදාල පුද්ගලයා මුදල් ඉල්ලා සිටියේ ය.

ලියකිවිල්ලක් සහතික කර ගැනීම සඳහා රුපියල් 250ක මුදලක් ඉල්ලා සිටින මෙවන් සාමවිනිසුරු ධුර දරණ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර  සාම විනිසුරු ධුරයේ ගෞරවය ආරක්ෂා කිරීම අධිකරණ අමාත්‍යවරයාගේ ද වගකීමක් වන අතර මෙවැනි අසාධාරණ ක්‍රියා වෙනුවෙන් උකුස්සා නිරන්තර අවදියෙන් සිටිනු ඇත.