පළාත් පාලන ආයතන වල මන්ත්‍රි සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රය ලබන සතියේ

පළාත් පාලන ආයතන වල මන්ත්‍රි සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රය ලබන සතියේ

March 21, 2017   08:13 am



සීමා නිර්ණ වාර්තාවට අනුව ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා තෝරාපත් කරගනු ලබන මන්ත්‍රී සංඛ්‍යාව පිළිබද ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

 මේ වන විට අදාළ තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බව අමාත්‍ය  ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේය.

ඒ අනුව ආසන මට්ටමින්, සමානුපාතික මට්ටමින් සහ කාන්තා නියෝජනය අනුව පළාත් පාලන ආයතන සඳහා තෝරා පත් කරගනු ලබන මන්ත්‍රී සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 මේ අතර පළාත් පාලන ආයතන සීමා නිර්ණ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය පෙබරවාරි මස 17 වන දින අදාළ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණායල වෙත පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ අතර පසුගිය සිකුරාදා දිනයේ එහි සිංහල සහ ඉංග්‍රීසි පිටපත් ප්‍රකාශයට පත් කළ බව රජයේ මුද්‍රණායලය සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ 2012 අංක 21 දරණ පළාත් පාලන සංශෝධන පනත ද මේ වන විට සකස් කරමින් පවතින බව පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය.

එහි සිදුකළ යුතු තාක්ෂණික සංශෝධන 80ක් පමණ මේ වන විට සිදුකර ඇති අතර නීතිපති නිර්දේශය ලැබුණු පසු එම පනත කැබිනට් අනුමැතිය සඳහා යොමුකිරීමට නියමිතය.