විදුලි රැහැන් හා ගොඩනැඟිලි අතර අවම පරතරය ගැන නව රෙගුලාසියක්

විදුලි රැහැන් හා ගොඩනැඟිලි අතර අවම පරතරය ගැන නව රෙගුලාසියක්

March 20, 2017   08:27 pm

විදුලි රැහැන් හා ගොඩනැඟිලි අතර පැවතිය යුතු අවම පරතර සම්බන්ධයෙන් නව රෙගුලාසියක් ක්‍රියාවට නගා තිබේ.

 මෙම රෙගුලාසිය මඟින් ඉදිකිරීම් හා විදුලි රැහැන් අතර පැවතිය යුතු අවම සිරස් හා තිරස් පරතර අනිවාර්ය කර ඇත. 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ මත විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙම නව රෙගුලාසිය අනුමත කර තිබේ. විදුලිබල ආරක්ෂාව පිළිබද රෙගුලාසිය ක්‍රියාවට නැගීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයද සහාය දක්වයි.

සම්ප්‍රේෂණ හෝ බෙදාහැරීම් රැහැනේ වෝල්ටීයතාවය අනුව තැබිය යුතු අවම පරතර විදුලිබල ආරක්ෂාව පිළිබද රෙගුලාසියෙහි 36 හා 37 වන නියෝග යටතේ දක්වා තිබේ. රැහැනේ වෝල්ටීයතාවය වොල්ට් 1000ට අඩු නම් එවැනි රැහැනක සිට ගොඩනැඟිල්ලක් දකවා අවම පරතරය සිරස්ව මීටර 2.4ක් විය යුතු වේ. අවම තිරස් දුර මීටර 1.5කි. විදුලි රැහැනෙහි වෝල්ටීයතාවය වැඩි අගයක් ගන්නා විට තැබිය යුතු අවම පරතරයද වැඩි අගයක් ගනී.  විදුලිබල ආරක්ෂාව පිළිබද රෙගුලාසියෙහි 37 වන වගන්තිය අනුව අවම පරතරයට වඩා අඩු පරතරයක් සහිතව නව ගොඩනැඟිලි ඉදිකිරීම නීති විරෝධි වේ. 

ඒ අනුව ඉදිරියේදී නව ඉදිකිරීමෙ සඳහා සංවර්ධන බලපත්‍ර පිරිනැමීමේදී විදුලි රැහැන් හා අදාළ ඉදිකිරීම් අතර නිසි පරතරය පිළිබද ප්‍රමිතියද සොයා බැලෙනු ඇත. මෙම ප්‍රමිතියට අනුකූලව සංවර්ධන බලපත්‍ර පිරිනැමීම සඳහා අදාළ පළාත් පාලන ආයතනවෙත උපදෙස් දෙන ලෙස සියළුම පළාත් පාලන කොමසාරිස් වරුන් වෙත පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් දැනුම් දී තිබේ.  මේ අනුව සංවර්ධන බලත්‍ර සඳහා ඉදිරිපත්කෙරෙන අයදුම්පත්‍ර වලට ගොඩනැගිලි හා විදුලි රැහැන් පිළිබද අවම පරතරයන් සනාථ කෙරෙන තොරතුරු ද ඇතුළත් කෙරෙනු ඇත.  නව රෙගුලාසියට අනුව ඉදිකිරීම් වලදී අදාළ වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලයෙන් හෝ ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් ආරක්ෂිත සහතිකයක් ලබාගත යුතු වේ.