සුදු වෑන් රථයක් හමුවෙයි-වෙඩි තැබූ සැකකරුවන් පළා ගියා යැයි සැකකරයි

සුදු වෑන් රථයක් හමුවෙයි-වෙඩි තැබූ සැකකරුවන් පළා ගියා යැයි සැකකරයි

February 28, 2017   10:31 am




කළුතර බන්ධනාගාර බස් රථයට එල්ල වූ  ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පළා ගිය  වෑන් රථය බවට   සැකකෙරන වෑන් රථයක් හොරණ මොරගහහේන ප්‍රදේශයේ දී සොයාගෙන තිබේ.

ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබූ ඩොල්ෆින් වර්ගයේ සුදු පැහැති වෑන් රථයක්  මෙලෙස සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

කෙසේ වෙතත් අදාළ වෑන් රථය සැකකරුවන් පළා යාම සඳහා යොදා ගත්  වෑන්රථයද යන්න පිළිබඳ මේ වන තෙක් තහවුරු වී නොමැති බව මොරගහහේන පොලීසිය පැවසුවේය.

කළුතර බන්ධනාගාරය අසලදී බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පාතාල කල්ලි සාමාජිකයෙකු වන සමයං ඇතුළු රැඳවියන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

ප්‍රහාරය සඳහා පුද්ගලයින් 10 කට ආසන්න පිරිසක් පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඔවුන් සුදු පැහැති වෑන් රථයකින් පළා ගොස් තිබූ බව සඳහන්වේ.

මෙම අපරාධ සිද්ධිය කඩුවෙල ප්‍රදේශයේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා ඔහු සම්බන්ධ දකුණේ අපරාධ කල්ලි ප්‍රබලයෙකු එක්ව සංවිධානය කර ඇති බවට පොලීසිය සැක කරන බව පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.