ශ්‍රී ලාංකිකයින් සේ එකට නැඟීසිටිය යුතුයි

ශ්‍රී ලාංකිකයින් සේ එකට නැඟීසිටිය යුතුයි

February 27, 2017   05:22 pm

රට දියුණුව කරා යනවා නම් ජාතිවාදය පසෙකලා ශ්‍රී ලාංකිකයින් සේ එකට නැඟීසිටිය යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ(26) කොටිකාවත්ත නාගරුක්ඛාරාමයේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවෙමින් අගමැතිතුමා මේ බව ප්‍රකාශකර තිබේ.


එහිදී  අගමැතිතුමා මහතා මෙසේ ද කියා සිටියේය,

අද මේ කටයුත්තට සහභාගීවීම සඳහා බදුල්ලේ මහනායක ස්වාමීන් වහන්සේ මට ආරාධනා කළා. මේ වන විට දැන් උන්වහන්සේ දහම් පාසල හොදින් පවත්වාගෙන යන අතර, නව ගොඩනැගිලි ද ඉදිකරමින් සිටිනවා. ඒවගේම උන්වහන්සේ විශාල නායකත්වයක් මෙම ප්‍රදේශයට ලබාදෙනවා.

මුල්ලේරියාව කියන්නේ නිකන් කැලයක් නොවේ. මුල්ලේරියාව එදා කෝට්ටේ රාජධානි සමයේදී ප්‍රධාන ජනාවාසයකි. රාජසිංහ රජතුමා කුමාරයා හැටියට එදා පෘතුගීසි හමුදාව මුණගැසී ඒ හමුදාව පරාජයට පත් කළා. මම මරික්කාර් මන්ත්‍රීතුමාට කියන්න කැමැතියි මුල්ලේරියාව සටන ගැනත්, මේ ප්‍රදේශයේ ස්මාරකයක් තිබිය යුතු බව. කාලතුවක්කු සමඟ යුරෝපීය හමුදාවක් අපි පරාජය කරලා මුල්ලේරියාව සටනෙන් ජයග්‍රහණය ලැබීමත් සමඟ ඒකනායක මුදලිතුමන් ධජය එසවීම සිදු කළා. අපේ ඉතිහාසයේ මෙය වැදගත් කාරණයක්.

 විශේෂයෙන්ම දහසකට අධික සංඛ්‍යාවකට දහම් අධ්‍යාපනය ලබාදීම පිළිබඳව මේ නායක ස්වාමීන් වහන්සේට මම ප්‍රශංසා කළ යුතුයි. මෙවැනි හොඳ දහම් පාසල් තෝරා ගන්නා වැඩසටහනක් ද අප ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. මෙය පාසල් අධ්‍යාපනයට ද ශක්තියක් වනවා. බෞද්ධ දහම් පාසල්, ක්‍රිස්තියානි දහම් පාසල්, ඉස්ලාම් දහම් පාසල් කුමක් හෝ වේවා ඒ තුළින් පාසල් අධ්‍යාපනයෙන් ලබාගත නොහැකි දහම් අධ්‍යාපනය ලබාදීම සිදු වනවා.

අද මෙම වැඩසටහනට මට ආරාධනා කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වනවා. එයට හේතුව මීට පෙර මෙම විහාරස්ථානයේ බෞද්ධ මන්දිරයේ බෞද්ධ ප්‍රතිමාවට මුල්ගල තිබ්බේ මගේ සීයාගේ වැඩිමහල් සහෝදරයයි. ඒ දොන් පිලිප් ඇලෙක්සැන්ඩර් විජයවර්ධන මොහන්දිරම්තුමායි. එතුමා මේ ප්‍රදේශයේ පන්සල් බොහෝ ප්‍රමාණයක් සමඟ සමීප සම්බන්ධතාවයක් පැවැත්වූවා. මුලින්ම අප මේ ප්‍රදේශයේ ආරම්භ කළේ වේරගොඩැල්ල, සේදවත්ත විහාරස්ථානයයි. ඒ මගේ මීමුත්තා වන සෙලෝනියස් උන්නැහේයි. ඉන්පසුව කැළණියේ රජමහා විහාරයට රූප ගණනාවක් පූජා කර විහාරස්ථාන කිහිපයකටම මෙලෙස උදව් උපකාර කළා. බෞද්ධ ප්‍රතිමාවට එකළ මුල්ගල තිබ්බේ පෙබරවාරී 14 වනදා වන අතර, අද මා අතින් මේ ගොඩනැගිල්ල විවෘත වුණේ පෙබරවාරි 26 වනදායි.

එස්.එම් මරික්කාර් මන්ත්‍රීතුමා මේ ප්‍රදේශය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරනවා. ගංවතුර අවදියේදී පවා මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කළ හැකි සියලූම උපකාර සිදු කිරීමට විශාල උත්සාහයක් දැරුවා. ඒ වගේම මේ පන්සල් වෙනුවෙන් ද එතුමා විශාල වැඩ කොටසක් සිදු කරනවා. බුදුරජාණන් වහන්සේ සියලුම ආගම්වලට ගරු කළ අතර, එසේම තමන් වදාළ ධර්මයට අනුකූලව ජීවත්වන ලෙස පැවසුවා. අන්තවාදය පටලාගත් විට ප්‍රශ්න පමණක් ඇති වන අතර, එයින් ඈත්ව කටයුතු කළ යුතුයි.
 
එසේම කොළොන්නාව දියුණු කිරීමට අප මේ වන විට වැඩකටයුතු සිදු කරමින් පවතිනවා. අපේ රට දියුණුව කරා යනවා නම් ජාතිවාදය පසෙකලා ශ්‍රී ලාංකිකයින් සේ එකට නැඟීසිටිය යුතුයි.  එසේ නොමැතිව එම වැඩකටයුතු සිදු කළ නොහැකියි. 1956 දශකයේ සිට භාෂාව අනුව බෙදීම, ජනවාර්ගිකයන් බවට පත්වීම, ජාතිවාදය අන්තවාදය ඇතිවීම, ත්‍රස්තවාදය ඇතිවීම, බෙදුම්වාදය ඇතිවීම නිසා විශාල සංඛ්‍යාවකට ජීවිත අහිමි වුණා. දැන් ඒ සියලූම දේ අතහැර දැන් එළඹ ඇත්තේ එකතුවීමේ කාලයයි. එය ජනවාරි 08 වැනිදා ජනතාව තීරණය කළා. 

දේශපාලනික වශයෙන් ද එකට එකතුවීම සිදු වුණා. ඇතැමුන් බෙදීම ලෙස හඳුන්වන්නේ සිංහල, දෙමළ බෙදීමයි. නමුත් ගමට යනවිට අපට අහන්නට ලැබෙන්නේ යූඑන්පී සහ ශ්‍රීලනිපය අතර බෙදීමයි. අපට තිබෙන්නේ අනෙකුත් රටවල්වල සිදු කරන පරිදි යම්කිසි සීමාවක් තුළ මෙය සිදු කිරීමයි. මේ සියලූම දේ සිදු කිරීමට පෙර දේශපාලනික වශයෙන් ද අප සියලුම දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස අදිටන් කරගනිමින් අප සියලූම දෙනා පිළිගන්නා නව ව්‍යවස්ථාවක් ඇති කිරීමයි.

බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබූ පසු ව්‍යවස්ථාවන් දෙකක් ගෙන ආවා. විවිධ ප්‍රශ්න ඒ තුළින් මතු වුණා. එබැවින් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවටත්, ජනාධිපතිතුමාටත් මෙම වරම ලැබුණේ අලූත් ව්‍යවස්ථාවක් ඇති කිරීමටයි. දැන් මේ පිළිබඳව විවිධ කතා ඇති වී තිබෙනවා. ඒ නිසා දැනට පවතින සත්‍ය තත්ත්වය ප්‍රකාශ කිරීමට මා කැමැතියි.
ජනතා නියෝජිතයන් සහ විවිධ සංවිධාන එකට එකතු වී එක වාර්තාවක් අපට එවා තිබෙනවා. ඒ වාර්තාව අප බාරගත්ත ද එහි යෝජනාවන් තවමත් අපි පිළිගෙන නැහැ. එම යෝජනා සලකා බැලීමට අප සූදානම්. අපි ව්‍යවවස්දායක සභාවක් ලෙස රැස්වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මෙහෙයුම් කමිටුවක් ඇති කළා. මේ කමිටුව මඟින් විෂයන් 6ක් ගැන වාර්තා කිරීමට අනුකමිටු 6ක් පත් කළා. එහෙම යෝජනා ද අපට ලැබී තිබෙනවා. සමහර යෝජනා පරස්පර විරෝධීයි. අප මේ සියල්ල ජනතාව සමඟ සාකච්ඡා කරනවා. එසේම සියලූම අදහස් ද බාරදී තිබෙනවා. මෙහෙයුම් කමිටුව හැටියට අප දැන් සූදානම් වන්නේ මෙහි ප්‍රතිපත්ති රාමුව සහ මූලධර්ම පිළිබඳ මූලික වාර්තාවක් සැකසීමටයි.

ඒ ලැබෙන වාර්තාව ඉන්පසුව පාර්ලිමේන්තුව සමඟ වාද කිරීමෙන් ඇති වන එකඟත්ව හා සංශෝධන අනුව මෙම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සිදුවන්නේ. තවමත් අප මහමුහුදට පැමිණියේ නැත. දැන් ඇත්තේ වාර්තාව ඉදිරිපත් කිරීම පමණයි. අවුරුද්දක් මුළුල්ලේ වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. අවුරුදු 40 ක් තිස්සේ පැවැති මෙම ගැටළුවට අවුරුද්දක්වත් අප ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කාලය ලබාදිය යුතුයි. දැන් මේ පිළිබඳව විවිධ ආකාරයේ ගැටළු මතුව තිබෙනවා. ඇතැමුන් මෙය බුදුදහමේ ස්ථානය නැති කිරීමට කරන උපක්‍රමයක් ලෙස හඳුන්වා දෙනවා. කිසිලෙසකින්වත් මෙමඟින් එය සිදුවන්නේ නැත. සෑම පක්ෂයක්ම ඉල්ලා සිටින්නේ බුදු දහමට ප්‍රමුඛස්ථානයක් ලබා දෙන ලෙසයි. සුළු ජාතීන් සහ ආගම්වලට යම් අඩුපාඩුවක් සිදු වී ඇත්නම් ඒවා නිවැරදි කර බුදුදහමට ප්‍රධාන ස්ථානය ලබාදීමට මෙම ව්‍යවස්ථාව මඟින් සිදු කරනවා. සියලුම මිනිසුන්ට තමන්ගේ ආගම ඇදහීමට අයිතිය ලබාදෙමින් ඒ රටේ ප්‍රධාන ආගමට ප්‍රමුඛස්ථානය ලබාදීම සිදු කළ යුතුයි.

උදාහරණ ලෙස ඉන්දියාව ප්‍රමුඛස්ථානය දෙන්නේ හින්දු ආගමට වන අතර, එංගලන්තය ක්‍රිස්තියානි  ආගමටත්, රෝමය කතෝලික ආගමටත්, කුවේටය ඉස්ලාම් ආගමටත් ලෙස පෙන්වා දිය හැකියි. එසේම ඡන්ද ක්‍රමය ගැන, විධායක ජනාධිපති ක්‍රමය ගැන සහ කැබිනට් ක්‍රමය ගැන සාකච්ඡා කර සමහර එකඟත්වයන්ට පැමිණ තිබෙනවා. ඇතමුන් මෙය ෆෙඩරල් ක්‍රමය ලෙස හඳුන්වන්න ලැබුවත් අපට අවශ්‍යම වන්නේ නිවැරදිව බලය බෙදාහැර රට පාලනය කිරීමටයි. දැන් අපේ ප්‍රධාන ගැටළුව වන්නේ බලය බෙදාහැරීම පිළිබඳවයි. මේ පිළිබඳව අප සාකච්ඡා කරමින් පවතිනවා. 13 වන සංශෝධනයෙන් අප පළාත් සභා ඇති කර තිබෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය සභා, නගර සභා පවත්වා ගනිමින් ඉදිරියට යෑම සිදු කළ යුතුයි. ඒවා අහෝසි කිරීමට එම සභා කැමැති වන්නේ නැහැ. එපමණක් නොව ඒවා අහෝසි කිරීමට සියලූම දේශපාලන පක්ෂ කැමැත්තක් දක්වන්නේ නැහැ. 

13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම අප ක්‍රියාත්මක කරන්නේ පළාත් 9 මුල් කරගනිමින්. මෙය රට පාවාදීමක් නොවේ. ප්‍රථමයෙන්ම අප පවසා සිටින්නේ කිසිම පළාතකට බෙදුම්වාදය පිළිබඳ සාකච්ඡා කිරීම තහනම් කරන ලෙසයි. වෙනත් ඕනෑම දෙයක් පිළිබඳව කතා කළ හැකියි. පසුගිය කාලයේ විශාල විනාශයක් සිදු වූ ආකාරය දකින්නට ලැබෙන බැවින් නැවතත් බෙඳුම්වාදය පිළිබඳව සාකච්ඡා කිරීම අනවශ්‍යයයි. 

එසේම ප්‍රාදේශීය සභා, නගර සභා පළාත් සභා යටතේ ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්නට කැමැතියි. ඒ අනුව ඒවාට ලැබෙන බලතල සාකච්ඡා කරමින් පවතිනවා. එස රාජ්‍ය ය පිළිබඳව වගන්තියක් ඇතුළත් කර ගන්නා ලෙස බොහෝ අය යෝජනා කර තිබෙනවා. ගමේ සියළුම දේ ග්‍රාම රාජ්‍ය අදාළව කටයුතු කිරීමට අදහස්වී තිබෙනවා. මේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අපි වගේම නගර සභාවෙන්, ප්‍රාදේශීය සභාවෙන්, පළාත් සභාවෙන් ලබාදීම ද සිදු වනවා. ගමේ සංවර්ධනය ගම තරහා නොකර ගම දැනුවත් කරමින් සිදු කළ යුතුයි.  එසේ නොමැති වුවහොත් ජනතාව දේශපාලන පක්ෂවලට දොස් පැවැරිය හැකියි. බලය බෙදාහැරීමේදී එය පැහැදිලි ලෙස සිදු කළ හැකියි. මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාවට බලය බෙදාහැරීමේදී පැහැදිලි ක්‍රමවේදයක් තිබිය යුතුයි. පරමාධිපත්‍යයට බලපාන සෑම විෂයක්ම මහා ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව සමඟ තිබිය යුතුයි. මෙහිදී මහ ඇමැතිවරු සියලුම දෙනා සමඟ අප කතා කරනවා. සෑම මහා ඇමැතිවරයකුටම බලය ලබාදෙන ලෙස පළාත් සභාවලදී පවසා සිටිනවා. එක මහඇමැතිවරයෙකු හෝ අඩුවෙන් බලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ නැහැ. දකුණේ හත් දෙනා සහ විපක්ෂය නායකවරුන් ද පවසන්නේ බලය ලබාදෙන ලෙසයි. මේ සියලූම දෙනාගේම අදහස් ලබාගෙන එකඟත්වය ඇති කරුණු සලකා බලන ලෙස සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීමාත්, තුසිතා විජේමාන්න මන්ත්‍රීතුමියත්, ආණ්ඩුකාරවරු, මහඇමැතිවරු, විපකෂනායකවරු මුණගැසී සම්පූර්ණ වාර්තාවක් වෙනම ලබාදී තිබෙනවා.

මෙම කරුණු ලබාගෙන විශේෂයෙන් දකුණේ මහඇමැතිවරු හත් දෙනාගේ පොදු යෝජනා දෙස බලමින් ක්‍රියා කරමින් පවතිනවා. සියලුම මහඇමැතිවරු පවසන්නේ ආණ්ඩුකාරවරයා කටයුතු කළ යුත්තේ මහඇමැතිවරයාගේ උපදෙස් මත වන අතර, තනිවම කටයුතු කළ නොහැකි බව පවසනවා. එසේ වුවහොත් මහඇමැතිවරයාට පක්ෂකව හෝ විපක්ෂකව කටයුතු කළ හැකියි. මහඇමැතිවරයාගේ ක්‍රියාකලාපය වැරැදි නම් ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට හැකියාව පවතිනවා. ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට ප්‍රධාන බලතල ජනාධිපතිතුමා සතුව පැවැතිය යුතුයි.

පළාත් සභා ප්‍රඥප්ති නීත්‍යානුකූල ද යන්න නැද්ද තීරණය කරන්නේ අධිකරණයයි. පළාත් රාජ්‍ය  සේවයේ බලතල, පළාත් පොලිස් කොමිසමේ බලතල, ඒ අය ස්වාධීන ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කළ යුතු ද නැත්ද යන්න, රාජ්‍ය ඉඩම් යනාදීන් පිළිබඳව මෙමඟින් සාකච්ඡාවට ලක් කෙරේ. රාජ්‍ය ඉඩම් ඕනෑම අවස්ථාවක රජයට ලබාගැනීමට හැකියාව තිබිය යුතුයි. එසේ ප්රරශ්නයක් ඇතිවුවහොත් උසාවියට හෝ වෙනත් මණ්ඩලයකට යොමු කරනවා ද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරේ.

මෙම නව ව්‍යවස්ථාවේ ඇත්තේ ජාතික ඉඩම් කොමිසම ලෙසයි. නමුත් දැන් යෝජනා වී තිබෙන්නේ එය ජාතික ඉඩම් හා ජල කොමිසම ලෙස වෙනස් කරන ලෙසයි. ගංගාවල ජලය බෙදාහැරීම ජල හිඟය, ජලය ආරක්ෂා  කිරීම එයට හේතු වී තිබෙනවා. මීළඟට සමගාමී ලැයිස්තුව ඇතැමුන් අහෝසි කළ යුතු යැයි පවසනවා. තවත් සමහරු එය අහෝසි නොකළ යුතු යැයි පවසනවා. මාගේ අදහස ද එය අහෝසි නොකළ යුතු යන්නයි. සමගාමී ලැයිස්තුවේ සමහර බලතල ප්‍රාදේශීය සභාවට දීමට ද හැකියාව පවතී. මේ ගැනයි අප මේ ව්‍යවස්ථාව තුළින් කතා කරන්නේ. එහෙම නැතිව රට බෙදීම ගැන නොවේ. ඒකීයභාවයට තර්ජනයක් නොවන අයුරින්   අප බලන්නේ ජනතාව කැමැති විදිහට මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ කෙසේදැයි යනුවෙනි. විපක්ෂකනායක තුමාද පවසන්නේ එම ගැටලූව ඉක්මනින්ම විසදා ගත යුතු බවයි.

විපක්ෂන නායකතුමා ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කාලයේ පරිදි ජාතික ගීය දෙමළින් ගායනා කිරීමට සිය කැමැත්ත පළ කළා. ජාතික ගීය දෙමළින් ගායනා කළ ද එහි අර්ථය වෙනස් වන්නේ නැත. සිංහල නොදන්නා පිරිස් එය දෙමළින් මෙය අපේ ලංකාව බව පැවසීම කොතරම් හොඳද? ඇතැමුන් මේ සඳහා විරුද්ධ වනවා. මෙයින් රට බෙදේ යනුවෙන් වැරැදි සහගත ලෙස සිතේ නම් ඇතැමුන් එල්.ටී.ටී.ඊ ය නියෝජනය වන පරිදි අප ඊළාම් යනුවෙන් ජාතික ගීය ගායනා විය යුතුයි. නමුත් ඔවුන් ගායනා කරන්නේ ද අප ශ්‍රී ලංකා, එක මවකගේ දරුවෝ යනුවෙනි. නමුත් ගැටලූ මතුකරන අය පවසන්නේ එසේ එක මවකගේ දරුවෝ යනුවෙන් ගායනා නොකරන ලෙසයි.

මීළගට ද්විතීය සභාවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා මෙය සෙනට් සභාව ලෙස පවසනවා. සෙනට් සභාව ලෙස ඉතිහාසයේ ද්විතීය මණ්ඩලයක් පැවතුණා. ද්විතීය මණ්ඩල ෆෙඩරල් රටවල පමණක් නොවෙයි ඒකීය රාජ්‍යන් වන එංගලන්තය, ප්‍රංශය, නෙදර්ලන්තය, ජපාන යන රටවල සභා දෙකක් දකින්න ලැබෙනවා.  අපි 1971 දී එය අහෝසි කර තනි සභාවකට පැමිණියා. දැන් තවත් සභාවක් අවශ්‍ය  බව පවසනවා. එයට හේතුව සාමාජිකයන් තෝරා ගැනීම අපට පළාත් සභා මඟින් සිදු කළ හැකියි. සෙනට් සභාවට හැම පළාත් සභාවකින්ම සභිකයින් පස් දෙනෙකු තෝරා ගත යුතුයි. ඇමැතිවරු, සභාපති, උපසභාපති, විපක්ෂනායක හැර වෙනත් ඕනෑම කෙනෙකු මේ සඳහා තෝරාගත හැකියි. එහි වාසිය 45% ක් වන දැනටමත් සිටි අලූත් මන්ත්‍රීවරුන්ට හිමි වනවා. මේ නිසා නැවත අලූතෙන් වාහන ලබාදීමට ද කාර්යාල ලබාදීමට ද අවශ්‍ය වන්නේ නැහැ. 

එසේම ඒ සඳහා පාර්ලිමේන්තුවේද 10 දෙනෙකු තෝරාගත යුතුයි. එහි බලතල ලෙස දැනට යෝජනා වී ඇත්තේ පළාත් සභාවට බලපාන නීති සභා දෙකෙන්ම අනුතම කළ යුතුයි. ව්‍යවස්ථා සංශෝධන පළාත් දෙකෙන්ම අනුමත කළ යුතුයි. ද්විතීක සභාවට අනෙක් සියල්ලම පාර්ලිමේන්තුවට සලකා බලන ලෙස ලබාදිය හැකියි. ඉන්පසුව මාසයකින් දෙකකින් එය සලකා බලා සංශෝධන සිදු කර ලබාදිය හැකියි. මෙය අමාරු කර්තව්‍යක් නොවේ. සියලූම පක්ෂ එකට එකතු වී මෙය ක්‍රියාත්මක කිරීමට පෙළ ගැසිය යුතුයි.

දැන් අප විශාල සංවර්ධනයක් සිදු කරනවා. වයඹට විශාල ආර්ථික කලාප ගෙන එනවා. මාතලේ, නුවරඑළියත් සහ මහනුවරත් විශාල දියුණුවක් ඇති කරනවා. ඒ වගේම හම්බන්තොට ව්‍යාපෘතියෙන් දකුණට සහ මොණරාගලට විශාල ආර්ථික වාසි ලැබෙනවා. මෙලෙස සංවර්ධනයන් සිදු වන්නට අප පළාත් සභාවලට ශක්තිය ලබාදුන් විට එම ප්‍රදේශ සංවර්ධනයේ ඉහළටම යන්න හැකියාව ලැබෙනවා. මේවා මහා ආණ්ඩුවෙන් සිදු කිරීමට අවශ්‍ය නැත. මේවා පළාත් සභා මඟින් සිදු කළ හැකි වැඩසටහන්ය. මෙලෙස විශාල වෙනසක් ඇති කිරීමට ඒ අදාළ ස්ථානවලට අවශ්‍ය බලතල ලබාදිය යුතුයි. නගර සභාවලට ද බලතල ලබාදීමට සිදු විය හැකියි. ඇමරිකාවේ නිව්යෝක් නගරසභාවට පොලීසියක්, ගිනි නිවන හමුදාවක් ඒ දෙකටම හෙලිකොප්ටර් පවතින අතර, විශ්ව විද්‍යාවල පවතින්නේ ද නගර සභාව යටතේයි. 2001 සැප්තැම්බර් 11 වැනිදා ත්‍රස්තවාදීන් නිව්යෝක් නගරයට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී එය පාලනය කිරීම සඳහා කටයුතු කළේ බුෂ් ජනාධිපතිවත්, නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාවත් නොවේ. ඒ සියල්ල සිදු කළේ නිව්යෝක් නගරාධිපතිතුමයි. අපි එලෙස පළාත් සභාවකටවත් බලතල ලබාදී නැහැ. හම්බන්තොට දියුණුවූ පසු ඒ මඟින් ඇති කළ හැකි කුඩා කර්මාන්ත ඇති කර දියුණුවීමට මහා ආණ්ඩුව ප්‍රමුඛත්වය ගත යුතු නැහැ. මෙණරාගල, මාතලේ, නුවරඑළියහි සංචාරක ව්යාුපාර දියුණු කිරීම පළාත් සභාව මගින් සිදු කළ හැකියි.

අලූත් ක්‍රමවේදය අනුව Airbnb එකෙන් තමන්ගේ ගෙදර කාමරයක් දුන්නොත් Airbnb එකේ කවුරුත් දන්නවා. එමඟින් කාමර දුන් අයගේ නම් ලබාගැනීමෙන් අපට වැට් ලබාගත හැකියි. උබර් එකෙන් අපි ඉල්ලන්නේ කාර් ලබාදුන්න අයගේ නම් ටික අපට එවීමෙන් වැට් ලබාගන්න හැකියාව පවතිනවා. මහා ආණ්ඩුවෙන් අපට එය සිදු කළ හැකියි. ලෝකයේ ලොකුම හෝටල් සමාගම Airbnb සමාගමට තමන්ගේම එක කාමරයක් නැහැ. ලොකුම ටැක්සි සමාගම වන උබර් ටැක්සි සමාගමට ඔවුන්ටම අයිති එක වාහනයක් නැහැ. මෙය දියුණුවීමේ නව ක්ර්මවේදයක්. මහා ආණ්ඩුව වුණත්, පළාත් සභා වුණත්, ප්රාමදේශීය සභා වුණත් ග්රාවම රාජ්ය  මතය ගෙන කටයුතු කළ යුතුයි. ග්රාවම රාජ්යටයට විරුද්ධව කටයුතු කළහොත් අපට මීළඟ ඡන්දයෙන් පරාජය හිමිවිය හැකියි.

ඉතිහාසයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙලෙස ගමට කොපමණ වැඩකොටසක් සිදු කළා ද යන්න අප දුටුවා. මෙලෙස රටේ දියුණුව වෙනුවෙන් බලතල බෙදාදීම මිස රට බෙදීමට අප කටයුතු කරන්නේ නැහැ. මෙම ගැටලූවට නිවැරදි විසඳුම් සොයා ගත් පසු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යනුවෙන් වෙනසක් නැතුව රට ඉදිරියට ගෙන යාමට අපට කටයුතු කළ හැකියි.

එසේම ලෙනගල නායක ස්වාමීන් වහන්සේ අනුස්මරණය කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමට කටයුතු කළ මෙම විහාරස්ථානයේ වර්තමාන නායක ස්වාමීන් වහන්සේට ම ප්‍රසංශා කරනවා.