ඇතැම් ඇමතිවරු හිතන්නේ රාජ්‍ය නිලධාරීන් සත්තු කියලයි

ඇතැම් ඇමතිවරු හිතන්නේ රාජ්‍ය නිලධාරීන් සත්තු කියලයි

January 22, 2017   11:38 am


ඇමතිවරුන් හිතාගෙන සිටින්නේ රාජ්‍ය නිලධාරීන් යනු එන්න කියනවිට පැමිණිය යුතු හා යන්න කියනවිට යා යුතු සත්ව විශේෂයක් ලෙස යයි සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා පවසයි.

රාජ්‍ය නිලධාරීන්ට ‘අර බූරුවාට එන්න කියනවිට“ පැමිණෙන රාජ්‍ය නිලධාරීන් සිටින බවත්, එහෙව් අවස්ථාවක එකී ඇමතිවරයාට තමන් ‘මුන් නම් බූරුවන්ම තමයි“ යයි කියා සිටි බවත් පීරිස් මහතා සිහිපත් කළේය.

ඒ මොහොතේ තමන්න එසේ කියන්නේ මන්දැයි අදාළ අමාත්‍යවරයා විමසූ බවත්, ‘බූරුවන් නොවේ නම් බූරුවාට එන්න කියනවිට රාජ්‍ය නිලධාරියා එසේ පැමිණෙන්නේ නැතැ‘යි තමන් ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන් කොන්ද කෙලින් තබාගෙන කටයුතු කළ යුතු බවත්, තමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිස සීමා නීර්ණ වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ බොහෝදෙනා සතුට පළ කළ බව ඔහු කියා සිටියේය.

මැතිවරණය යනු  පාලන බලය මාරු කිරීමේ උපකරණයක් බවත්, එකම කණ්ඩායමක කට්ටි දෙකක් අතර බලය හුවමාරුවන ක්‍රමය වෙනුවට අලුත් පිරිසකට බලය මාරු කළ යුතු බව පීරිස් මහතා කියා සිටියේ අද (22) මහරගම පැවති ජනතා විමුක්ති පෙරමුණේ ‘දිරිය පුරවැසි ජාතික නියෝජිත සමුළුව‘ආමන්ත්‍රණය කරමිනි.

මේවන විට රට පවතින්නේ අර්බුදයක අග්‍රස්ථානයේ බවත්, රටේ පාලනය ගෙනියන්නේ අවදානම්කාරී අවස්ථාවක ඇස් දෙක පියාගෙන වාහනයක් ධාවනය කරන රියදුරෙකු මෙන් බවද ඔහු අවධාරණය කළේය.