සරසවි ප්‍රවේශයට අත්පොත 24 දා

සරසවි ප්‍රවේශයට අත්පොත 24 දා

January 22, 2017   07:57 am


නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත ලබන 24 වන දින නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා කියා සිටියේ එදින සිට විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත දිවයින පුරා පිහිටි අලෙවිසැල්වලින් මිලදී ගැනීමට හැකියාව පවතින බවයි.

 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවිය තුළින් ද ප්‍රවේශ අත්පොත ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ඒ අනුව 2016 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සමත් වු සිසුන්ට විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමේ අවස්ථාව  ලබන 24 වන දින සිට උදාවන බව  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙවර සියලු අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු බව මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසීය.

තමන් හැදෑරීමට බලාපොරොත්තු වන පාඨමාලා අනුපිළිවෙලින් සඳහන් කොට අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර ඒ සදහා මාසයක කාලයක් ලබා දි තිබේ.

දිවයින පුරා පිහිටි නැණසල මධ්‍යස්ථානවලින් නොමිලේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදී ඇති බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.