නවසීලන්ත අගමැති - ඉතාලි අගමැති තනතුරු අතහරී
සයුරෙන් එතෙර

නවසීලන්ත අගමැති - ඉතාලි අගමැති තනතුරු අතහරී

December 5, 2016   07:18 am



ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් ඉතාලියේ පැවැති ජනමත විචාරණයේ ප්‍රතිඵලවලින් පසු ඉතාලි අගමැතිවරයා මෙම තීරණයට එළඹ ඇත.

ඉතාලි ව්‍යවස්ථාව වෙනස් කිරීමට එරට ජනතාවගෙන් සියයට 54 - 58 අතර ප්‍රතිශතයක් අකමැත්ත පළ කර තිබේ.

ඊට කැමැත්ත පළකර ඇත්තේ සියයට 42-46ත් අතර පිරිසකි.

මෙම වාතාවරණය යටතේ ඉතාලි අගමැතිවරයා තනතුර හැර යාමට තීරණය කර ඇති අතර ඔහු මේ බව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද සඳහන්ය.

වසර 5ක නිල කාලයෙන් වසර දෙක  හමාරක් පමණ ඉතාලි අගමැතිවරයා සේවය කර ඇති බවද පැවසේ.

මේ අතර අය වැය සම්මත කරගන්නා තෙක් තනතුරේ රැඳී සිටින ලෙසට ඉතාලි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමට එරට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.

මේ අතර නවසීලන්ත අගමැති ජෝන් කී සිය 8 වසරක දේශපාලන දිවියට සමුදීමට තීරණය කර ඇත්තේ සිය පවුලේ අවශ්‍යතාවය මත බවද වාර්තා වේ.

ඒ අනූව දෙසැම්බර් 12දා ඔහු නිල වශයෙන් තනතුරෙන්  ඉවත්වන බව ප්‍රකාශ කර ඇති අතර නියෝජ්‍ය අගමැති බිල් ඉංග්ලීෂ් එම තනතුර බාර ගැනීමට නියමිත බව පැවසේ.

කෙසේ වුවද නවසීලන්ත අගමැතිවරයා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ ඔහුගේ බිරිඳගේ ඉල්ලීමක් මත බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.