සිසුන් දෙදෙනා මියගිය සිද්ධියට පොලීසියේ 5ක් අත්අඩංගුවේ

සිසුන් දෙදෙනා මියගිය සිද්ධියට පොලීසියේ 5ක් අත්අඩංගුවේ

October 21, 2016   05:57 pm

යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ මරණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර  ඇති බවයි.

අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරීන් පස් දෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව ද එම නිවේදනයේ සඳහන්ය.

මියගිය සිසුන් දෙදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ද මේ වන විට සිදුකෙරෙන බව  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සඳහන් කරයි.

ඊයේ මධ්‍යම රාත්‍රීයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි  යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අද(21) දහවල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ සිසුන් දෙදෙනා ගමන් කළ යතුරුපැදියක තාප්පයක ගැටීමෙන් සිදුවු අනතුරකින් ඔවුන් මියගොස් ඇති බවයි.

23 හැවිරිදි සහ 24 හැවිරිදි කිළිනොච්චිය සහ චුන්නාකම් යන ප්‍රදේශවල පදිංචිව සිටි සිසුන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කර තිබුණි.

 කෙසේවෙතත් මෙම මරණ සිදුවු ආකාරය පිළිබඳ සැක පලවීම හේතුවෙන් ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකිරීමට පොලීසිය තීරණය කර තිබේ.
 


මෙම සිසුන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්වී මියගිය බව මීට පෙර සඳහන්ව තිබුණි