විගණකාධිපති ස්වාධීන පුද්ගලයෙක් - ඔහුව කැඳවීම අනුමත කරන්න බෑ

විගණකාධිපති ස්වාධීන පුද්ගලයෙක් - ඔහුව කැඳවීම අනුමත කරන්න බෑ

June 24, 2016   05:28 pm



විගණාකාධිපතිවරයා ස්වාධීන පුද්ගලයෙකු බවත්, ඔහුව පාර්ලිමේන්තුවට ගෙන ප්‍රශ්න කිරීම පිළිගත නොහැකි බවත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

මුදල් අමාත්‍යංශයේ 2015 වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව  සභාගත කිරීමෙන් අනතුරුව එහි ඇතුළත් විගණකාධිපතිගේ වාර්තාවේ රාජ්‍ය ණය පිළිබඳව දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය ගැන පැහැදිලි කිරීමට එම එකමුතුව කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරිණ.

ඒ අනූව රජයේ මුදල් අවභාවිතය වැළැක්වීම සඳහා විගණන පනතක් අවශ්‍ය වී තිබියදී තවමත් පනතක් නොතිබීම නිසා ඉන් අගතියට පත්වන්නේ මෙරට ජනතාව බව එම එකමුතුව අවධාරණය කරන ලදී.

දේශපාලනඥයින් සිය වාසිය තකා එම පනත සම්මත නොකරන බවත්, මේ හේතුවෙන් වංචා දූෂණ වැළැක්වීමට ඇති හැකියාව අවම වී ඇති බවත්, එම එකමුතුවේ නිලධාරීන්  පෙන්වාදෙන ලදී.

තවද අගවිනිසුරුට පසුව සිටින්නේ විගණකාධිපතිවරයා බවත්, ඔහු වැනි ස්වාධීන පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත් ප්‍රශ්න කිරීමට බලයක් ඇමතිවරුන්ට නැති බවත් එහිදී ප්‍රකාශ විණ.

ණය ගැනීමේදී විගණකාධිපතිවරයා සීමා නොපවන බවත්, එහෙත් සීමාව ඉක්මවා යම් යම් ආකාරයෙන් සිදුවන ණය ගැනීම් ගැන ඔහුට අදාළ අංශ දැනුවත් කළ හැකි ආකාරයටම කිසිදු ගණනක් සඳහන් නොකර සිටීමෙන් වැළකිය නොහැකි බවද එම එකමුතුව සඳහන් කරන ලදී.

මේ අතර විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා අගමැතිවරයා විසින් බැණවැදුණ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔවුන් පැවසුවේ එවැන්නක් ගැන තොරතුරු වාර්තා වී නැති බවයි.