දැනුවත් කිරීමෙන් කළයුතු දේ නීතිය මගින් කළ නොහැකියි

දැනුවත් කිරීමෙන් කළයුතු දේ නීතිය මගින් කළ නොහැකියි

May 25, 2016   12:29 pm



නීති විරෝධී ක්‍රියා මෙන්ම තහනම් පන්න ක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයට වන හානිය පිළිබඳ නිසි දැනුවත් කිරීම් මගින් පමණක් ධීවරයා නීති ගරුක පුද්ගලයකු කළහැකි  බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා  පෙන්වා දුන්නේ එසේ නොමැතිව නීති පැනවීමෙන්ම  පමණක් තහනම් පන්න ක්‍රම භාවිතයෙන් හෝ නීති විරෝධී ක්‍රියා වලට යොමුවීමෙන් ධීවරයා ඉවත් කර ගැණීම අපහසු කාර්යයක් බවයි. මෙම දැනුවත් කිරීම් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමෙන් සිදු කිරීම් සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් ක්‍රිස්ට් ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස්  ලබා දුන්නේය.

අනතුරකදී ජීවිත ගලවා ගැනීමේ ආරක්ෂක ක්‍රම, ජීවිතාරක්ෂක උපකරණ පිළිබඳවද දැනුවත් කිරීම් සිදු කළ යුතු බවත්, ජීවිතාරක්ෂක ජැකට්ටු වලට පමණක් සීමා නොවී අනතුරකදී ධීවරයත්, යාත්‍රාවත් නිරුපද්‍රිතව ගලවා ගතහැකි ලෝකයේ දැනට භාවිතා කරන ක්‍රමවේද මෙන්ම උපකරණ පිළිබඳවත් දැනුවත් කිරීම් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා එහිදී මෙසේද කියා සිටියේය.

“ නීති විරෝධී පන්න ක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයට, මහමුහුදට සිදුවන හානිය, මත්ස්‍ය සම්පතට සිදුවිය හැකි තර්ජන, මත්ස්‍ය සම්පත වඳවීයාමේ අවදානම, මෙමගින් අනාගතයේදී මුහුණ පෑමට සිදුවිය හැකි ගැටළු පිළිබඳ මනා අවබෝධයක් ලබා දියයුතුයි. මෙම දැනුවත් කිරීම් සඳහා ධීවර ජනතාව උපරිමයෙන් සහභාගි කර ගතයුතුයි.”
“මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලැබුණොත් ධීවරයා තහනම් පන්න ක්‍රම භාවිතයෙන් ඉවත්වන බව සහතිකයි. මොකද අපි මේවා කතා කළාට ධීවර ජනතාව මේ ගැන දන්නේ නැහැ. ඒ නිසා අපි පළමුව මේ දැනුවත් කිරීම් කළයුතුයි. ඒ අතරේ නව පන්න ක්‍රම හඳුන්වා දීමද කළ යුතුයි. ඒ මගින් පමණයි මේ ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ලබා ගත හැක්කේ.”