සෝභිත හිමි දේහය ගැන මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම ගැන උසාවි නියෝගයක්

සෝභිත හිමි දේහය ගැන මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම ගැන උසාවි නියෝගයක්

April 5, 2016   12:19 pm



අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය නොපැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විද්වත් වෛද්‍ය කමිටුවක් මගින් විමර්ශනයක් පවත්වා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙතටයි.

කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ වැඩ විසු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් මාර්තු 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

සෝභිත  හිමියන් හදවත් සැත්කමකට භාජනය කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවේ රෝහලක් වෙත රැගෙන යාම එලෙස රැගෙන යාමෙන් පසු නොවැම්බර් මස 08 වන දින අළුයම එම රෝහලේ දී අපවත්වීම පිළිබඳවත් උඩුවේ ධම්මාලෝක හිමියන් අදාළ පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර තිබුණි.

මීට අමතරව සෝභිත හිමියන්ගේ ප්‍රතිකාර සම්බන්ධ වෛද්‍ය වාර්තා අස්ථානගත වීම සහ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය නොපැවැත්වීම යන කරුණු මත පදනම්ව උන්වහන්සේ අපවත්වීම සැක සහිත බවට උඩුවේ ධම්මාලෝක හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබුණේය.

මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අදාළ කරුණු වාර්තා කර තිබුණි.

ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ලබාගත් ප්‍රතිකාර සම්බන්ධයෙන්  එම රෝහල් අධ්‍යක්ෂවරුන්ගෙන් විස්තර වාර්තා  ලබාගෙන එම වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධව අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කර තිබේ.

 මීට අමතරව මරණ සහතිකයේ දක්වා ඇති කරුණු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම පිළිබඳවත් කඩිනම් වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාවරයා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

මෙම  විමර්ශන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු විද්වත් කමිටුවක් මගින් සිදුකරන ලෙසට ද  අධිකරණය නියෝග කර තිබේ.




පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.