අලි ඇල්ලුවේ නෑ-විකිණුවෙත් නෑ-නඩු කියන්න රු.10ගාණේ ආධාර ඕනෑ

අලි ඇල්ලුවේ නෑ-විකිණුවෙත් නෑ-නඩු කියන්න රු.10ගාණේ ආධාර ඕනෑ

February 17, 2016   09:35 pm


තමන් අලි ඇල්ලුවේ නැති බවත්,අලි ඇල්ලීම සඳහා කැලේ නොගිය බවත්,අලි විකුණුවේ නැති බවත්,ඒ වෙනුවෙන් ව්‍යාජ ලේඛන හැදුවේ නැති බවත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි පවසයි.

තමාට එවැනි චෝදනාවක් එල්ලවන බව තමාද දැන ගත්තේ අන්තර්ජාලයේ හා ඇතැම් පුවත්පත්වල පළවූ වාර්තාවන්ගෙන් බව උන්වහන්සේ කියා සිටියේ අද(17)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එසේ වුවද එයින් පසුව රහස් පොලීසිය තමාගෙන් මේ සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී කටඋත්තර ලබාගත් බවත්,තමන් දත් සියල්ල එහිදී පොලීසියට ප්‍රකාශ කළ බවත් උන්වහන්සේ සිහිපත් ක‍ළේය.

මෙම අලි පැටවා අලි 20-30 ක් සහභාගි කරවා ගත් පිංකමකින් පසුව පන්සලේ දමා ගොස් සිටියදී හමුවූ බවත්,තමන් සෙනෙහසින් ආහාරපාන දී එම අලි පැටවා රැකබලා ගත් බව සත්‍යයක් බවත් ධම්මාලෝක හිමියන් කියා සිටියේය.


වරදක් කර ඇත්නම් තමා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටින බවත්,නීතියට ගෞරව කරන බවත්,නීතියෙන් පළායන්නට තමා කිසිදු උත්සාහයක් නොගන්නා බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

තමා එලෙස අත්අඩංගුවට ගන්නේනම් තමාගේ නීතිඥ මහත්වරුන් ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටින්නේද තමා රෝහල් ගත නොකරන ලෙස යයිද,බන්ධනාගාරයෙන් මිස පිටතින් දානය රැගෙන නොඑන ලෙසද ඉල්ලා සිටින බව ධම්මාලෝක හිමියන් සඳහන් කළේය.

තමාට එම අත්දැකීම ලබන්නට ඉඩදිය යුතු බවද උන්වහන්සේ මෙහිදී අවධාරණය කළේය.

එසේ වුවද තමාට නීතිමය කටයුතු සම්පාදනය කර ගැනීමට මුදල් නොමැති බැවින් තමාගෙන් බණ ඇසූ,තමා ඇසුරු කළ දායක දායිකා ආදීන්ගෙන් රු.10 වශයෙන් තමන් ආධාර කරන ලෙස ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.