හොරු අල්ලන පොලීසියට ‍පොල් ගහන්න හොරෙන් පොල් කැඩුවාද?

හොරු අල්ලන පොලීසියට ‍පොල් ගහන්න හොරෙන් පොල් කැඩුවාද?

February 5, 2016   06:49 pm


කොල්ලුපිටියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසිරුවන ලෙස දෙවොල් දෙවියන්ට කන්නලව් කිරීමට  හික්කඩුව සීනිගම දේවාලයේ පොල් ගැසීමට  උඩුගම රජයේ ඉඩමකින් හොරෙන් පොල් කැඩූ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

නාගොඩ ග්‍රාම නිලධාරී සහ එජාප හිටපු ආසන සංවිධායක ආනන්ද ලැනරෝල් මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බව සඳහන්ය.

අක්කර 700 ක පමණ විශාල ඉඩමක අක්කර නවයක පමණ පොල්වගා කර ඇති බවත්, එයින් පොල් ගස් තුනක පමණ පොල්කඩා ඇති බව හඳුනාගන්නට ඇතැයි පොලීසිය පවසයි.

 ප්‍රාදේශීය ලේකම් භාරයේ ඇති මෙම ඉඩමේ පොල් කැඩීම සිදුකරනු ලබන්නේ  ප්‍රා‍දේශීය සභාව විසින් බවත්, මෙම පොල් ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්ටරයෙන්ම රැගෙන ගිය බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් අදදෙරණ කළ විමසීමකදී උඩුගම පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නමුත් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

ඒ හේතුවෙන් පැමිණිලිකරුවන් කුමක් කීවද මෙම පොල් සීනිගම දේවාලයට ගෙනියාම සඳහා කැඩුවේද යන්න ‍පිළිබඳ නිශ්චිතව තවමත් පැවසිය නොහැකි බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.