බැසිල් FCID කැඳවයි

බැසිල් FCID කැඳවයි

January 6, 2016   10:59 am




ඉකුත් රජය සමයේ දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.


ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා එම කොට්ඨාසය වෙත කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අතර ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට අද දිනයේත් බරපතළ වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව මෙම කැඳවීම සිදුකළ බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා පසුගිය දින දෙකේදී ද නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

කෙසේවෙතත් නිශ්ශංක සේනාධිපති මහතා අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා ඇති බවද ඇවන්ගාඩ් සමාගමේ නීතීඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා පැවසුවේය.