චෝදනා ගොනුකළ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ටද දඬුවම් හිමිවිය යුතුයි

චෝදනා ගොනුකළ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ටද දඬුවම් හිමිවිය යුතුයි

December 1, 2015   05:53 pm


ජාතික සංහිඳියාව පිළිබඳ අවසන් විසඳුම විය යුත්තේ ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජනවර්ග වලට සාධාරණය ඉටුවන විසඳුමක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

එහිදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගැනීමට හැකි බව ඇය කියා සිටියේ අද(01) කොළඹ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.

තම රජය සමයේ ඉදිරිපත් කර තිබූ බලය විමධ්‍යගත කිරීමේ යෝජනාවලියේ සිට මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වුණු උදලාගම වාර්තා දක්වා වන සියලුම යෝජනා කෙරෙහි අවධානය යොමුකරමින් මෙම අවසන් විසඳුම සකස් කරගත හැකි බව ඇය පෙන්වා දුන්නාය.

මෑතකදී හිටපු එල්.ටී.ටී.ඊ රැඳවියන් නිදහස් කරලීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනියගේ ස්ථාවරය කුමක්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව ඇය කියා සිටියේ ආරක්ෂක අංශවල සාමාජිකයින්ට චෝදනා ගොනුකර දඬුවම් කළ යුතුයයි ඉල්ලීමක් ඇත්නම් ඒ ආකාරයෙන්ම චෝදනා ගොනුකරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ටද දඬුවම් හිමිවිය යුතු බවයි.

උදාගම වාර්තාව මගින් යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා විදේශීය විනිසුරුවරුන්ගේ අවශ්‍යතාව සඳහන් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිනිය දරන්නේ කෙබඳු අදහසක්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කරන ලදී.

තමාටත් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය පළුදු වී ඇතිවා වුවත් විදෙස් විනිසුරුවරුන් සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවක් නැතැයි තමාගේ පුද්ගලික මතය බව ඇය මෙහිදී සඳහන් කළාය.