ජනවාරියේ සිට දුරකථන ගාස්තුත් ඉහළ යයි

ජනවාරියේ සිට දුරකථන ගාස්තුත් ඉහළ යයි

November 22, 2015   11:14 pm

 

ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට දුරකථන ගාස්තුවල ඉහළ යාමක් සිදුවිය හැකි බව මුදල් අමාත්‍යාංශය පවසයි.

 මෙවර අයවැයෙන් සිදුකරනු ලැබු බදු සංශෝධන හේතුවෙන් දුරකථන ගාස්තුවල යම් ඉහළයාමක් සිදුවිය හැකි බව  වාර්තා වෙයි.

 සියයට 11ක්ව පැවති වැට් බද්ද සියයට 12යි දශම පහ දක්වා මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා වු අතර අන්තර්ජාතික විදුලි සංදේශන ගාස්තුව  ඩොලර් දශම තුනකින් ඉහළ දමා තිබේ.

 එම බදු සංශෝධනවලට අනුව දුරකථන ගාස්තුවල සිදුවන වෙනස්කම් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කරනු ඇති බව  මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් බදුවලින් නිදහස් කර ඇති බැවින් විදුලි ගාස්තුවේ හෝ ජල ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව මුදල් අමාත්‍යාංශය අවධාරණය  කර සිටියේය.

 මේ අතර මෙවර අයවැය යෝජනාවල පැහැදිලි කරගත යුතු කරුණු සම්බන්ධයෙන් විමසීමට මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

මුදල් අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ දෙපාර්තමේන්තුව තුළ පැය 24 පුරා ක්‍රියාත්මක ඒකකයක් මෙලෙස ස්ථාපිත කර ඇති බව සඳහන්ය.

ඒ අනුව 071 024 23 10 , 071 024 23 11, 071 024 23 12 , 071 024 23 13 යන දුරකථන අංක ඔසසේ සහ 0112 43 10 28 යන ෆැක්ස් අංකය ඔස්සේ අයවැය යෝජනා පිළිබඳව විමසීමට ජනතාවට අවස්ථාව ලබාදී තිබේ.

 මීට අමතරව itm.mof@gamil.com යන විද්‍යුත් ලිපිනයට ඊ මේල් පණිවිඩයක් යොමුකිරීමෙන් ද අයවැය යෝජනා සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමේ අවස්ථාව ලබාදී ඇති බව  මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.