EPF පුද්ගලීකරණය කරන්නේ නෑ -  වටේ යන කතා  අසත්‍යයි

EPF පුද්ගලීකරණය කරන්නේ නෑ - වටේ යන කතා අසත්‍යයි

November 9, 2015   05:38 pm



සේවක අර්ථ සා‍‍ධක අරමුදල මහ බැංකුවෙන් එ‍‍ළියට ගෙන පුද්ගලිකර‍ණය කිරීමට සැරසෙන  බව ඇතැම් පුද්ගලයින් චෝදනා කරන බව  විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

නමුත් සැබෑවටම නව රජය විසින් කරනු ලබුන්නේ රජයේ ආයතනයක් ලෙස අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ අරමුදල යන දෙක එකතු කර සම්පූර්ණ රජයේ ආයතනයක් ලෙස ව්‍යවස්ථාදායක සභාවෙන් පත්කර‍න නියෝජිත මණ්ඩලයක් හරහා පාලනය වන අලුත් ව්‍යුහයක් සකස් කිරීමක් බව ඒ මහතා සඳහන් කර සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද(09)  කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

පසුගිය කාලයේ තමන්ද සේවක අර්ථ සාධක අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා සේවකයින් වෙනුවෙන් පුද්ගලයෙකු පත් කළ යුතු බවට තර්ක කළ බවත්, නමුත් එය එසේ සිදු නොවුණු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

නමුත් මෙම  නව ව්‍යුහය හරහා සේවකයින්ගේ අයිතිවාසිකම් සඳහා සේවක නියෝජනයකුත් ලැබෙන බවත්, එසේ වූ විට නොයෙකුත් දේශපලඥයින්ගේ ප්‍රතිරූපය පිම්බවීම සඳහා සේවක අර්ථසාධක අරමුදල යෙදවීමටද අවස්ථාවක් නොමැති වී යන බවත්, ඒ මහතා අවධාරණය කළේය.

ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යාම කළ යුතු බවත්, ඉහළ තරඟකාරීත්වයකින් යුත් වෙළඳපොළක් ඇති කිරීම , අපනයන ආර්ථිකය හරහා රටේ ආර්ථික සංවර්ධනය  ඇති කිරීම හා කලාපීය වෙළඳ ගිවිසුම හා එක්වීම තුළින්  රටේ සංවර්ධනය ඇති කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත්  එහිදී කියා සිටියේය.